ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට තමා ප්‍රකාශ කළැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කළ අපහාසයට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ගොනුකර ඇති නඩුවේ උත්තර බැඳීම ලබන ජුනි 03 වැනිදාට සිදු කරන ලෙස කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය වගඋත්තරකාර පාර්ශ්වයට ඊයේ (21) නියම කළාය.
මෙම නඩුව ඊයේ (21) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් නඩුවේ පෙරකලාසි ගොනු කරන ලද අතර තමන්ට උත්තර බැඳීමට අමතර කාලයක් ඉල්ලා සිටියහ. ඒ අනුව ලබන ජුනි මස 03 වැනිදාට පැමිණිල්ල සම්බන්ධයෙන් වන පිළිතුරු ගොනු කිරීමට අධිකරණයෙන් වගඋත්තරකරුවන්ට දින නියම කළේය.
ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි 2024 ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගය නියෝජනය කරමින් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඉකුත් 2024 අගෝස්තු 19දා මාවනැල්ලේ පැවැති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අසත්‍යය හා ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මෙම නඩුව ගොනු කර තිබිණි.
මෙම නඩුවේ දෙවැනි වගඋත්තරකාර රූපවාහිනි සමාගම මෙම සිද්ධිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ප්‍රකාශ කර ඇති අතර අනතුරුව පසුදා උදෑසන පුවත්පත් සිරස්තල වැඩසටහන ඔස්සේ ද විකාශය කර ඇතැයි පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණයට ගොනුකර ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරියක හා දේශපාලන ක්‍රියාධරයකු ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ගොඩනඟාගෙන ඇති කීර්තිනාමයට හානි වන ආකාරයේ ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුගෙන් හා එය විකාශනය කළ පෞද්ගලික මාධ්‍ය නාළිකාවකින් රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබේ.
බෞද්ධ පරිසරයක කුඩා කල සිටම හැදී වැඩුණු සිය සේවාදායිකාව දකුණු ප්‍රදේශයේ බොහෝ විහාරස්ථානවලට ඉඩකඩම් පරිත්‍යාග කළ පවුලකින් පැවත එන තැනැත්තියක් බවත් ඇය කිසිදු අවස්ථාවක මොනයම් හෝ ආගමකට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කර නොමැති තැනැත්තියක බවත් ලේඛනගත නීතිඥ ශානිකා සිල්වා මහත්මිය ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වේ. පැමිණිල්ල වෙනුවෙන් සම්පත් යාලේවත්ත මහතා පෙනී සිටියේය. වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ සචින්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නීතිඥ කස්සල කැමර් පෙනී සිටියේය.
Dinamina