Wednesday, December 04, 2024
Follow Us
10 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය අද

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (නොවැ. 21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විණි.

අද පෙ.ව 9.55 ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6 හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍තෝරා පත් කරගැනීම සිදුකරනු ලැබේ. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවීම විශේෂත්වයකි.

මෙම මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන ප්‍රකාරව පෙ.ව. 11.30 ට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය.

මේ අනුව පෙ.ව. 11.00 පමණ වන විට සියලු ආරාධිතයන් අසුන් ගැනීමට නියමිත අතර පෙ.ව. 11.10 ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී පාර්ලිමේන්තුවේ  කථානායකවරයා පිළිගැනීමට නියමිතය. අනතුරුව පෙ.ව. 11.15 ට ගරු අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ගරු ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.

ඒ අනුව පෙ.ව. 11.20 ට කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිතය.

ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලබයි.

අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා  පෙ.ව. 11.25 ට ගණපූර්ණ සීනුව නාද වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ මහලේකම්වරු යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ.

සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සභාව කල් තැබීමට නියමිතය.

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව ද වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනා පත්‍ර (E - Invitations) යොමුකොට ඇති බවද වේත්‍රධාරීවරයා පැවසීය.