ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ නායකයන්ට පොදුජන පෙරමුණෙන් සිදුවන කෙනෙහිලිකම් තවමත් අවසන් වී නොමැති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඇතැම් පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වී තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රීලනිපය ඉදිරිපත් වූ බව පෙන්වා දෙන ශ්‍රීලනිප ලේකම්වරයා පවසන්නේ එවැනි පරිත්‍යාගයක් සිදුකර තිබියදීත් පොහොට්ටුවේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් විවිධ කෙනෙහිලිකම් එල්ල වන බවයි.
සියල්ලට පෙර රට ගැන සිතිය යුතු බැවින් සියලු කෙනෙහිලිකම් ඉවසා දරා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බව ද දයාසිරි ජයසේකර මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු ප්‍රගතිශීලී බලවේග එකතු කිරීමේ කාර්යය ශ්‍රීලනිපයට පැවරී ඇති බවත් එම කාර්යය ඉහළින්ම ඉටු කිරීම සඳහා පක්ෂය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා අවධාරණය කරයි.
පසුගිය දිනවලදී පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වූ අතර ඒ නිසා ශ්‍රීලනිපය වෙනම ජනහමු සහ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව මේ වනවිට ඔවුන් කුඩා ජනහමු, සාකච්ඡා පවත්වමින් සිය පක්ෂ සාමාජිකයන් දැනුවත් කරමින් සිටී.
(LNW)