Saturday, October 24, 2026
Follow Us
බැඩ්මින්ටන් සහ පාපැදි සම්මේලන පරිවර්තන කමිටු යටතට- ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පරිවර්තන කමිටුවක් යටතට පත්කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බැඩමින්ටන් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටූ බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙලෙස එම සංගමය පරිවර්තන කමිටුවක් යටතට පත්කර ඇත.

එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් එම කමිටුවට නිලූක කරුණාරත්න, මිලින්ද සූරියආරච්චි, ස්වදෙශ් රන්දික ද සිල්වා හා සමන් ශ්‍රී ලාල් යන නම්කර තිබේ.

ඒ අනුව බැඩ්මින්ටන් සංගමයේ සිදුවූ බව පැවසෙන වංචා දූෂණ සහ වෙනත් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම, ක්‍රීඩා පනත, එහි සංශෝධන සහ ඒ යටතේ පනවා ඇති රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ඔවුන්ට පැවරී ඇත.

තවද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සඳහා නව ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සඳහා නව ව්‍යවස්ථාව යටතේ විශේෂ මහා සභා රැස්වීම සහ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම ඇතුළුව කටයුතු ඉටුකිරීම සඳහා මෙම පරිවර්තන කමිටුවට වගකීම් ලබාදී තිබේ.

ඒ අනුව ක්‍රීඩා පනතේ රෙගුලාසි අනුව නව ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් දින 90ක් ඇතුළත නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා නිලවරණය පැවැත්විය යුතුය.

නව ව්‍යවස්ථාව යටතේ පැවැත්වෙන වාර්ෂික මහ සභා රැස්වීමකදී බැඩ්මින්ටන් සංගමයට නිලධාරීන් තෝරා ගන්නා තෙක්, එහි කාර්යයන් කරගෙන යාම සහ කළමනාකරණය කිරීම මෙම පරිවර්තන කමිටුව යටතේ සිදුවේ.

මේ අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාදිචියද තාවකාලිකව අත්හිටුවූ බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සංමගයේ සිදුව ඇති වංචා දුෂණ සහ වෙනත් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් සාමාජිකයින් 5කින් යුත් පරිවර්ථන කමිටුවක් පත්කළ බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

එම කමිටුව විසින් නව ව්‍යවස්ථාවක් යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීම, පාපැදි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාව යටතේ විශේෂ මහා සභා රැස්වීම සහ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීම ඇතුළුව කටයුතු අධීක්ෂණය කරනු ලබයි.

අනුර මහආරච්චිගේ මෙම පරිවර්තන කමිටුවේ සභාපතිවරයා වන අතර, රියර් අද්මිරාල් (විශ්‍රාමික) වන්දන රත්නායක, ආර්. චන්ද්‍රසේකර, උපාලි රත්නායක හා කුසලානි වික්‍රමරත්න සෙසු සාමාජිකයෝ වෙති.

ඒ අනුව ක්‍රීඩා පනතේ රෙගුලාසි අනුව නව ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් දින 90ක් ඇතුළත නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා නිලවරණය පැවැත්විය යුතුය.