Friday, May 17, 2024
Follow Us
වෙල්ගම ගැන මම බලාගන්නම් - මහින්ද රාජපක්ෂ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කුමාර වෙල්ගම මහතා දරණ උත්සාහය සම්බන්ධයෙන් කලබල විය යුතු නොමැති බවත් තමන්ට එය කළමනාකරණය කරගත හැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

කුමාර වෙල්ගම මහතා සමඟ තමන්ට ඇති දේශපාලන සම්බන්ධය ඉතාම දීර්ඝ එකක් බව සිහිපත් කර ඇති ඒ මහතා මෙය තමන්ට වාසි සභගත තත්වයක් බවට පෙරළාගත හැකි බවයි අවධාරණය කර ඇත්තේ.

"වෙල්ගම කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ මගෙ මිනිහෙක්. අපි අතරේ අදටත් හොඳ අවබෝධයක් තියෙනවා. එයා ගෝඨාට කැමති නැති එක එයාගෙ පුද්ගලික මතය. මං ඒකට මොකුත් කියන්නෙ නෑ. මොකද, මතයක් දරණ එක එයාගෙ අයිතියක්නෙ. මං ප්‍රජාතන්ත්‍රවාදී මිනිහෙක් විදියට ඒකට ගරු කරනවා.

එයා මුල ඉඳන්ම, අපි එක්ක ඉඳිද්දිමත් කිව්වානෙ ගෝඨා ආවොත් අපිවත් ඉවර කරනවා කියලා. මං එදත් ඒකටත් මොකුත් කියන්නෙ ගියෙ නෑ. එයාගෙ මතය නෙ.

ඒත් අන්තිම මොහොතේදි වෙල්ගම මගේ වචනෙකට උඩින් යන එකක් නෑ. ඒක මට විස්වාසයි.

මෙතනදි අපි කොහොමහරි වෙල්ගමට උදව් කරන්න ඕනේ ශ්‍රී ලංකා එකේ බලය අල්ලන්න. ඒක අපට වාසියි. මොකද වෙල්ගම නැතුව චන්ද්‍රිකා ඕක අල්ලාගත්තොත් අපට නොසෑහෙන කරදරයක් වෙනවා. 2015ත් අපට වැඩේ වැරදුණේ චන්ද්‍රිකා නිසා.

මං කියන්නෙ පොහොට්ටුවෙ වගේම අපේ මිනිහෙක් ඉන්න ඕනෙ ශ්‍රී ලංකා එකෙත්. ඒ හින්දා කොයි වෙලාවකවත් වෙල්ගමට බාධා කරන්න එපා. මේ තත්වය තේරුම් අරං වෙල්ගම කියන එව්වා ඇහුන්නෑ වගේ ඉන්නයි අපට තියෙන්නෙ.

වෙල්ගමලා මංගලලා එක්ක සාකච්ඡා කරනවා කියලත් මං දන්නවා. එව්වා වුණත් අපි දන්නෙ නැති ගාණට ඉමු. දැනට මේ යන විදිය ප්‍රශ්නයක් නෑනෙ. වෙනසක් වුණොත් පස්සෙ බලමු" යනුවෙන් ඒ මහතා සිය අභ්‍යන්තර කවයේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)