Friday, May 17, 2024
Follow Us
මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රිලනිප පක්ෂයෙන් ගෝඨා ජනපති කරන්නෙත් ශ්‍රිලනිප පක්ෂයයි – දුමින්ද

1994 ඉඳන් ‌‌මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කතිරයෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේ ජනාධිපතිවරණ සමයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ 04 දෙනෙක් අපිට පේනවා. ගොඨාභය රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතා, අනුරකුමාර දිසානායක මහතා ඉන්නවා. ඒ වගේම, අපේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මුලින්ම කල්පනා කළා , අනුර කුමාර මහත්තයයි, මහේෂ් සේනානායක මහත්තයයි දෙන්නා පැත්තකින් තියමු කියලා. ඒ මොකද? අපි මේ තෝරන්න යන්නේ රටේ ජනාධිපතිවරයා මිසක් හොඳම කථාව කියන කෙනාවත්,හොඳම අදහස තියෙන කෙනාවත් නෙමෙයි.

අපිට අවශ්‍යයි මේ රටේ සියලු පුරවැසියෝ එකට එකතු වෙලා රටේ නායකයා තෝරනවා දකින්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ එහෙමත් නැතිනම් ස්වාධීනව මතයක් දරන්න ඉන්න සියලු දෙනාගෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ හරියට හිටගන්න. ජයග්‍රහණය තුළ පමණයි දෙන පොරොන්දු වල වටිනාකමක් තියෙන්නේ. ජයග්‍රහණයක් නොමැති තැන දෙන පොරොන්දු වලංගු වෙන්නේ නෑ. රට හදන්න නම්, රට වෙනසකට ගෙන යන්න නම් ජයග්‍රහණය තුළින් පමණයි හැකි වෙන්නේ. එහෙම නම් ජයග්‍රහාහී අපේක්ෂකයා වටා එකතු වනවාට වඩා වෙන කෙනෙක්ට එකතු වෙලා තමන්ගේ ඡන්ද නාස්ති කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා.‘‘

(Lanka Leads)