Friday, May 17, 2024
Follow Us
විවාදයට තනියම එන්න බය නම් අයියත් එක්ක එන්න - සජිත් ගෝඨාට කියයි !

තමන් සමඟ විවාදයකට පැමිණෙන ලෙස කළ අභියෝගය දිගටම මඟ හරින බැවින් තනියම පැමිණෙන්නට බිය නම් සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතාත් කැඳවාගෙනම හෝ විවාදයට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ප්‍රසිද්ධියේ අභියෝග කළේය.

ඒ අද (26) කොලොන්න ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමිනි.

"මම මගේ ප්‍රතිවාදියාට කියන්න කැමතියි දැන් ඔබතුමා බය මාධ්‍ය එක්ක කතා කරන්නනෙ, එහෙනම් එන්න මේ සජිත් ප්‍රේමදාස එක්ක විවාදයකට. ස්වාධීන තැනක මේ විවාදය පවත්වමු.

මිත්‍රවරුනි, අර පැෆ්‍රල් සංවිධානය ඡන්දය ආරම්භ වූ අවස්ථාවේම ඒ පවත්වපු එකටවත් ආවෙ නෑ. හිස් පුටුවක් තිබුණෙ. එතුමා විතරයි ආවෙ නැත්තෙ. අනිත් ඔක්කෝම ආවා. මමත් ගියා.

ඉතිං මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් තනියම මාත් එක්ක විවාදයකට එන්න බයයිනෙ. අනේ එහෙනම් අයියව අඬගහගෙන එන්න, කමක් නෑ. මං තනිවම මුහුණ දෙන්නම් කිසි ප්‍රශ්නයක් නෑ.

අයියගෙ කිහිලිකරු දෙක මදි නම් අපෙ හිටපු කථානායකතුමාත් ( චමල් ) අරන් එන්න. අපෙ බැසිල් මහත්තයාත් අරන් එන්න. ඒත් මදි නම් අපෙ නාමල් රාජපක්ෂ සහෝදරයාවත් අරගෙන එන්න. ඒ ඔක්කොම මදි නම් මම කියනවා එතුමාගේ මුළු පවුල් පරම්පරාවම මුළු පවුල් ගහම අරගෙන එන්න, සජිත් ප්‍රේමදාස කේසර සිංහයෙක් වගේ තනියම මුහුණ දෙන්න ලෑස්තියි" යනුවෙනුයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේ.

(LNW)