Tuesday, July 01, 2025
Follow Us
පෙරළි රැසක ඇරඹුමක් - චන්ද්‍රිකා අද දිවයිනට

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (26) දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඇයගේ පැමිණීමත් සමග ශ්‍රීලනිපයේ පෙරළි රැසක් ඇතිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ශ්‍රීලනිපය කණ්ඩායම් කිහිපයකට බෙදී සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සෘජුවම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ‍යෝගය පළකරමින් සිටින අතර ඉදිරියේදී ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානයක් ‍ගොඩනැගීමට ද සූදානමින් සිටී. මේ අතර ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින අතර ඔවුන් සමග ශ්‍රීලනිප ග්‍රාමීය මට්ටමේ නායකයන් සහ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටී.

‍මේ අතර තවත් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් සංවිධානය වී ඇති අතර ඔවුන් පවසන්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයට කිසිදු පාර්ශ්වයකට සහයෝගය දැක්විය නොහැකි බවයි. පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී මෙම පිරිස හමුවී සාකච්ඡා පැවැත්වූ අතර මෙම සාකච්ඡාව පිටුපස සිටින තීරණාත්මක බලවේගය වන්නේ හිටපු ජනාධිපතිනියයි.

හිටපු ජනාධිපතිනිය මෙරටට පැමිණීමෙන් පසුව ශ්‍රීලනිපයේ සියලු බලවේග ඒකරාශී කිරීමට ඇය සූදානමින් සිටින අතර බොහෝ දෙනාගේ සහාය ලබා ගැනීමට ඇය සමත් වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රීලනිපය එළඹ ඇති තීරණය වෙනස් කිරීමට වුවද චන්ද්‍රිකා බණ්ඩාරනාය මහත්මියගේ මැදිහත්වීම ශක්තිමත් වනු ඇති බව ද වාර්තා වේ.

(LNW)