Tuesday, July 01, 2025
Follow Us
අපිව නැති කළේ මඩකලපු සමනළයා - රංගේ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ නිර්පාක්ෂික ජනාධිපති නිල්පාක්ෂික වූ අතර පරාජයට පත් වූවන් ළඟට ගනිමින් මේ මඩකලපු සමනළයා එජාපයට පහර දුන් බව ජාතික සේවක සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (25) මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ජාතික සේවක සංගමයේ සම්මන්ත්‍රණයේදීය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ජාතික සේවක සංගමයේ මධ්‍යම පළාත් වෘත්තීය සමිති සම්මේලනය විසිනි.

වසර ගණනාවක් තිස්සේ අසාධාරණයට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළද එකී සෑම අවස්ථාවකදීම එජාප පාක්ෂිකයන්ගෙන් පළිගත් බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ඒ හේතුවෙන් පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේය.

"අපි පසුගිය වසර හතරහමාරක කාලය ආණ්ඩු කළේ ගමේ පැරණි අම්මලා ආප්ප පුච්චපු විදිහට. අද වගේ ක්ෂණික ආප්ප ඒ කාලේ තිබුණේ නැහැ. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර දාලා ඒ කාලේ ආප්ප පිච්චුවේ. අපිත් ආණ්ඩු කළේ ඒ විදිහට. උඩින් මෛත්‍රීපාල සිරිසේනගේ ගින්දර යටින් මහින්ද රාජපක්ෂගේ ගින්දර. මේ ගිනිවලට අහුවෙලා අමාරුවෙන් හැදෙන ආප්පයක් වගේ තමයි අපි ආණ්ඩු කළේ."

(LNW)