Thursday, May 02, 2024
Follow Us
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම හෙට

හෙට (25) උදෑසන නෙළුම් පොකුණ රඟහලේදී පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“හෙට දිනයේදී උදේ 9.30ට නෙළුම් පොකුණ රඟහලේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරනවා.

මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඇත්ත වශයෙන්ම අපි එකතු වෙලා කාමරයක් ඇතුලේ හදපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් නොවෙයි.

ගම සමඟ පිළිසඳරක් කියන වැඩසටහන යටතේ ග‍්‍රාමීය ජනතාව සමග අපි සාකච්ඡා කරලා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන තමයි දීර්ඝ කාලයක් තිස්සේ මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කරන්න පටන් ගත්තේ.

අපි කරුණු රාශියක් මෙහිදී අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සඳහා සොයාගත්තා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මඟ සංවිධානය හරහා අපේ රටේ ආර්ථිකය කෙසේ විය යුතු දැයි පර්යේෂණ කරලා සමීක්ෂණ කරලා පෙන්වා දීලා තිබෙනවා.

ඒ කරුණුත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කරලා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ වලින් අදහස් ලබාගත්තා අපි මේ සඳහා.

සියල්ල එකතුවෙලා තමයි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කරලා තිබෙන්නේ. පොදු යුගයක අරම්භය තමයි නොවැම්බර් 16 වෙනිදා සිට ආරම්භ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව.

අද අපේ රට තිබෙන්නේ ඉතාමත් විශාල අර්බුදයක. ආසියාවේ රෝගියා බවට අපි පත් වෙමින් තිබෙනවා.

එක් කාලයක ඉතාලිය යුරෝපයේ රෝගියා බවට පත් වෙලා හිටියටත් වැඩිය. අපි ඉන්නේ ආසියාවේ පහළම තැන. විශාල නොසන්සුන්තාවයක් අද රට ඇතුළේ තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරත් විශාල ලෙස හිස ඔසවලා තිබෙනවා. මේ හේතුව නිසා සමාජ දේහයත් රෝගි බවට පත් වෙලා තිබෙනවා. අපේ රටේ රැකියා නිශ්පාදනය කිරීමේදි ආහාර නිශ්පාදනය කිරීමේදි තාක්ෂණය භාවිතා කරන ආකාරය ගැනත් ඒ සියල්ල සඳහා මූලික වන අධ්‍යාපනයට ලබාදෙන තැන ගැනත් විශේෂයෙන්ම මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වෙනවා.

ආරක්ෂිත තරුණ පරපුරට අනාගතය ගැන විශ්වාසයක් ඇති කරන සමජයක් බිහි කිරීමට අවශ්‍ය මූලික කරුණූ අපි මෙහි සඳහන් කර තිබෙනවා.

කමිටු 28ක විද්වතුන් 500ක් පමණ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පිණ්ඩනය කිරීම සඳහා දායක වුණා.”

(Lanka Leads)