Saturday, May 04, 2024
Follow Us
ජනතාව ප්‍රතික්ෂේප කළ අය හොර පාරෙන් ගන්න අපි සූදානම් නෑ

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු අපේක්ෂකයෙකු ඉදිරි මහ මැතිවරණයකදී ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් ජනතාව ප්‍රතික්ෂේප කළ අපේක්ෂයෙකු ජාතික ලැයිස්තුවෙන් යළි පත් කරනවා යනු ජනතාවට එල්ල කරන කම්මුල් පහරක් බවත් මහනුවරදී පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීවේය.

ශ්‍රී ලංකාව තුළ සෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් ජීවත්වීමේ නිදහස සුරක්ෂිත කර ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය ලබා දෙන්නා තබා එය කියවා බැලීමට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළ බව කී සම මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද කීවේය.

'සුළු ජන කොටස්වලට පවා කිසිදු අවහිරයකින් තොරව ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කර ඇති අවස්ථාවක එක රටකට නීති දෙකක් ලබා දෙන ගිවිසුමකට අප කිසිසේත්ම එළැඹෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒකීය රටක ඒකීය නීතියක් යටතේ සැමට ජීවත්වීමට හැකි පසුබිම සකස් කිරීමටයි.'

දමිළ ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ක්‍රියාත්මක වුණු උතුරු වසන්තය වැනි වැඩසටහන් ඉදිරියේදීද ක්‍රියාවට නංවන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)