එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළි අමතන අවස්ථාවලදී හූ කියමින් විරෝධතා දැක්වීම සඳහා පාක්ෂිකයින් සූදානමින් සිටින බවට කටකතාවක් පසුගිය දින කිහිපය පුරාම එජාපය තුළ පතුරුවා හැර තිබුණු නමුත් කිසිවකු ඊට වැඩි අවධානයක් යොමු කර තිබුණේ ද නැත.
එහෙත් මෙහි පළමු පියවර වශයෙන් ඊයේ (19) දිනයේ ලග්ගල පැවති රැළියට අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙරම සජිත් පිලේ ආධාරකරුවකු "සර්, මහබැංකු හොරු නම් මෙහෙට ගෙන්නන්න එපා" යනුවෙන් පවසමින් විරෝධතාවක නිරත වනු දැකගත හැකිවූ අතර මීට මාධ්‍යවලින් ඉහළම ප්‍රචාරයක් ද ලබාදී තිබිණි.
රනිල්ගේ කතාව අතරතුර ද ඊට බාධා කරමින් සජිත් පාක්ෂිකයින් හූ කියන අන්දම ද දක්නට ලැබිණි.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමේදී සජිත් පිලට කොන්දේසි කිහිපයකට එකඟ වීමට සිදුවුණු අතර එහි මූලික කොන්දේසිය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමත් පක්ෂ නායකත්වය දිගටම රනිල් වික්‍රමසිංහ මහතා අතම පැවතීමත්ය.
අප මීට මාස දෙකකට පමණ පෙර සිටම වාර්තා කළ ආකාරයට සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ පසුව ඔහුගෙන් අග්‍රාමාත්‍ය තනතුර ලබාගැනීම සඳහා දැනටමත් කිහිපදෙනෙකුම බලාපොරොත්තු සහගතව සිටිති.
ඒ සඳහා ඔවුන් මුලින්ම කළ යුතුවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාව පාක්ෂිකයින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව රටටම ඒත්තු ගැන්වීමය. එසේම රනිල් වික්‍රමසිංහ මහතා සජිත්ගේ වේදිකාවට ගොඩවීම වළක්වා, ජනාධිපතිවරණ ජයග්‍රහණයට රනිල්ගෙන් කිසිදු දායකත්වය නොතිබුණු බවත් එය තනිකරම සජිත්ගේ සහ සජිත් පිලේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගේ වික්‍රමයක් බවට තනි අයිතිය ලියා ගැනීමය. එවිට මුලදී ඇති කරගත් රනිල් - සජිත් එකඟතාවය ඉතාම පහසුවෙන් කඩා දැමීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ නිගමනය වී තිබේ.
මේ ක්‍රියාත්මක වන්නේ ඒ සැලසුමය.
මෙවැනි තීරණාත්මක ජනාධිපතිවරණයක් අබියස සති හතරක් වැනි ඉතාම කෙටිකාලසීමාවක් පවා ඉවසා නොසිටිමින් මෙසේ විවෘතවම තම පක්ෂය තුළ ඇති අර්බුදය එළියට ගැනීමට සජිත් පිල නිර්භයව සිටින්නේ ඉතාම පහසු ජයක් තමන්ට ජනාධිපතිවරණයේදී ලැබිය හැකි බවට ඔවුන් තුළ ඇති අධිතක්සේරුව නිසා බවත් වාර්තා විය.
අපි මේ පිළිබඳව මීට පෙරත් සඳහන් කළ ආකාරයට ජයග්‍රාහී මානසිකත්වය යනු හොඳ දෙයක් නමුත් සතුරා අවතක්සේරු කිරීම යනු විනාශයට මුලකි. සජිත් පිල මේ ගමන් කරමින් සිටින්නේ ඒ මාර්ගයෙහි බව පෙනේ. එසේම සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය හසුරුවන්නේ උග්‍ර රනිල් විරෝධීන් ලෙස ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් වීම ද මෙම තත්වය තවත් සංකීර්ණ කරනු ඇති.
(LNW)