ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාව පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.
වැඩිදුරටත් ඔවුන් පෙන්වාදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් මෙරටදී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇති බවයි.
විධිමත් පටිපාටියට අනුව ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට වූ ලේඛන ඉදිරිපත් නොකර එම බලපත්‍ර ලබාගෙන ඇති බවට වන සාක්ෂි තමන් සතුව පවතින බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්යක්ෂ ඇතුළු පිරිසක් නම් කර ඇත.
මෙම පෙත්සම අද(30) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (29) කොළොන්නාව ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මතු කර තිබුණි.
මේ අතර භික්ෂුන් වන්හන්සේලා කණ්ඩායමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව කරුණු දක්වමින් ඉල්ලා තිබුණේ කිසියම් හෝ අයුරකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් ඒ සඳහා හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් පත් කළ දිනයේ සිට ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුව කැපී පෙනෙන කාරණයක් විය.
රාජපක්ෂවරුන්ගේ පාර්ශවයෙන් ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බවට වන ලිඛිත ලියවිල්ලක් හෝ මේ දක්වා ප්‍රසිද්ධ කර නැත.
(LNW)