Saturday, September 21, 2024
Follow Us
අරලියගහ මන්දිරය වැටළීමේ අජිත් පී.ගේ යෝජනාව යළි කරළියට

එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් අරලියගහ මන්දිරය වටළා උද්ඝෝෂණය කිරීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් සජිත් පිලට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු බව අපි මීට පෙර වාර්තා කළෙමු.

අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ රනිල් - සජිත් සාකච්ඡාව පැවති පසුගිය 10 වනදා ක්‍රියාත්මක කිරීමටය. එම සාකච්ඡාව පැවැත්වෙන මොහොතේ අරලියගහ මන්දිරය වටළා, එහි සියලු පිවිසුම් දොරටු අවහිර කර, සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදෙන තුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව නිවාස අඩස්සියේ තබාගත යුතු බවට ඔහු යෝජනා කර තිබිණි.

එහෙත් එවැන්නක් සංවිධානය කරගැනීම සඳහා කාලය ප්‍රමාණවත් නොවීම මෙන්ම රනිල් - සජිත් සාකච්ඡාව රාත්‍රී 09.00ත් පසුවී පැවැත්වීම ඇතුළු හේතු කිහිපයක් සහ මූලිකවම සජිත් ප්‍රේමදාස මහතා මීට එතරම සැලකිල්ලක් නොදැක්වීම නිසා එය අතහැර දමන ලදී.

එහෙත් මේ සතිඅන්තයේදීත් අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වීම නිසා ලබන අඟහරුවාදා ( 24 ) පැවැත්වීමට නියමිත එජාපෙ පක්ෂ නායක රැස්වීම අවස්ථාවේදී සහ බදාදා (25) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන අවස්ථාවේදී මෙසේ අරලියගහ මන්දිරය වටළා උද්ඝෝෂණය කළ යුතු බව අජිත් පී. පෙරේරා මහතා විසින් නැවතත් සජිත් පිලට යෝජනා කර ඇති බව සඳහන්.

මේ සඳහා බණ්ඩාරගම ආසනයෙන් 10,000ක සෙනඟක් තමන්ට ගෙන්වීමට හැකි බවත් ඉතිරිය අනෙක් අය විසින් බලාගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් මේ පිළිබඳව තවමත් සජිත් පිල අවසන් තීරණයකට එළඹ නොමැති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

(LNW)