Friday, May 03, 2024
Follow Us
විධායකය අහෝසි කිරීම : ඉල්ලං කෑවේ රවී. ලණුව දුන්නේ මෛත්‍රී.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඊයේ (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් සජිත් පිලේ සහ සුළු ජාතික අමාත්‍යවරුන්ගේ විරෝධතාවය නිසා ප්‍රතික්ෂේප විණි.

විශේෂ කැබිනට් රැස්වීම

මේ සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ද ජනාධිපතිවරයා විසින් ඊයේ කැඳවා තිබුණු අතර මෙසේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට මූලික වී ඇත්තේ රවී කරුණානායක අමාත්‍යවරයා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. එසේම ඔහුට මේ අදහස ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම විසින් බව ද සඳහන්.

ඇත්තෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු 2015 ජනාධිපතිවරණය සඳහා ද එජාපෙ - මෛත්‍රී සන්ධානය විසින් ඉදිරිපත් කළ ප්‍රධානතම දේශපාලන පොරොන්දුවයි. එය ඉටුකිරීම සඳහා දරණ ඕනෑම උත්සාහයක් අගය කළ යුතුය.

එහෙත් ඕනෑම දෙයක් කිරීමට අදාළ ක්‍රමවේදයක් ද තිබේ. එසේ නොකළ කල සිදුවන්නේ සතුරාට තොග පිටින් ආයුධ ලැබීමය. නැතහොත් ඉල්ලාගෙන කෑමට සිදුවීමය. ඊයේ සිදුවූයේ ද එයයි.

මේ මොහොත වනවිට කැබිනට් මණ්ඩලය යනු කොටස් තුනකින් සමන්විත එකකි. ජනාධිපතිවරයා, රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය එකී කොටස් තුනයි. එක්සත් ජාතික පක්ෂයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වුවමනා නම් ඔවුන් මුලින්ම කළ යුතුව තිබුණේ තම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී මේ පිළිබඳ මූලික එකඟතාවකට පැමිණීමය. එසේ නොවුණු කළ සිදුවූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සමස්ත සටනම විහිළුවට ලක්කිරීමය.

 

ජනපති ඉතිහාසගත අපවාදයෙන් බේරීම

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු දී බලයට පැමිණ, අවසානය වනවිට ඒ තබා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ඉවත් කළ යුතු බවට තර්ක කළ පුද්ගලයාය. බොරු පොරොන්දුකාරයකු වශයෙන් ඔහුගේ නම ඉතිහාසය ඉදිරියේ සටහන් වීමට නියමිතව තිබියදී ඔහු ඊයේ ලස්සනට තම නම එයින් නිදහස් කරගත්තේය.

දැන් ජනපතිට කියන්නට ඇත්තේ තමන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවසන් මොහොත දක්වාම උත්සාහ කළ බවත් ඊට ඉඩ නොදුන්නේ එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක් බවත්ය. ඔහු නිදොස්ය.

මෛත්‍රීගේ කෝච්චියට සජිත් බෙල්ල තැබීම

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කිරීම නින්දිත වැඩක් බව මාධ්‍ය ඉදිරියේ පුන පුනා කියමින් සජිත් ප්‍රේමදාස කරන්නේ මේ මොහොතේ තම නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉතිහාසගත අපවාදයෙන් බේරා දීමය. සජිත්ව හසුරුවන ස්වාමියා වන කිලී මහාරාජාගේ වුවමනාවත් ඒකය. 2015 දුන් පොරොන්දුව කුමක්ද කියාවත් නොදන්නා තරමට සජිත් තාවර වන්නේ ඇත්තටමත් ඔහු මේ වනතෙක්ම ගම්මට්ටමේ, බිම්මට්ටමේ, තම්මැට්ටමේ, ළිංමට්ටමේ දේශපාලනයක් මිස ජාතික මට්ටමේ දේශපාලන කටයුත්තක නිරත වී නොමැති නිසා සහ ඒ ගැන අවබෝධයක් ද ඔහුට නොමැති නිසාය.

ඒ අනුව රනිල් පිල ඉල්ලං කා ඇති අතර සජිත් පාර්ශ්වය තමන් දේශපාලනිකව නිරුවත් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සළු පළඳවා මහා වීර ක්‍රියාවක් කළ ලෙසින් ජයග්‍රහණය සාමකාමීව සමරමින් සිටිති.

ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ කොතරම් ප්‍රබල ස්ථානයකද යන්න බොහෝ අයට නොතේරෙන බව අප කියන්නේ මේ නිසාය.

(LNW)