Monday, May 06, 2024
Follow Us
කරූ කළ ප්‍රකාශය ගැන පොදුජන පෙරමුණ කරූගෙන් පැහැදිළි කිරීමක් ඉල්ලයි

අපේක්ෂකත්වය ලැබුණහොත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන ක‍්‍රමවේදය පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ මීට පෙරද ඇතැම් පිරිස් ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු කරන බව පැවසුවද මෙතෙක් එය ඉටු නොවූ බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලීමක් වුවද, තමන්ට සලකා බැලිය හැක්කේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරලීමේ පරමාර්ථය අරමුණු කරගත් දේශපාලන බලවේග සමග එක්ව පමණක් බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (17) ප‍්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ල අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කළේ "විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා කිව්වට ඒ අහෝසි කරන ක්‍රමවේදයන් ගැන මෙතෙක් කල් ගැටලු තිබ්බා නේ.. ගැටලු රාශියක් පැවතියා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි සැළැස්මක් තිබිය යුතුයි. නැත්මන් හිස් කතා පමණක් වෙනවා." .යනුවෙනි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය මුල් කරගනිමින් ඉකුත් සමයේ අදහස් පල කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල්ගෙන්ද කථානායකවරයාගේ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මම හිතන්නේ එතුමාගේ පෞද්ගලික මතය සහ පෞද්ගලික අයිතිය. එතුමා ඉතාම ගෞරවනීය දේශපාලනඥයෙක්. අපිට ඒකට අභියෝග කරන්න බෑ. හැබැයි මේ කරුණ හැම මැතිවරණයකදිම මතු වෙනවා. මෙතෙක් කල් කරනවා කියලා තමයි වැඩේට බහින්නේ.. හැබැයි සිද්ධ වුණේ නෑ. අපේ පක්ෂය තුළ මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ඇති වෙලා නෑ තවම." යනුවෙනි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ එකගතාවන්ට අනුව සුදුසු අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.

(Neth)