Monday, May 06, 2024
Follow Us
එජාප අපේක්ෂකයා ගැන අවසන් තීන්දුව 20 වැනිදා – රනිල්,සජිත්,කරූ සහ චම්පික අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ අරමුණෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙම 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් ලබා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා තේරීමේ අවසන් තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය සතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. මෙහි දී ජනාධිපතිධුර අපේක්ෂකත්වය සඳහා දැනට සූදානමින් සිටින අපේක්ෂකයන් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කථානායක කරු ජයසූරිය, ඇමැති පාඨලී චම්පික රණවක යන අය අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිති.

මේ අතර අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවීමට ද දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. මෙම සාකච්ඡාව අද 17 වැනිදා පැවැත්වීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය සමග පසුගිය ඉරිදා 15 වැනිදා දිනයේ ද එක්සත් ජාතික පක්ෂ නායකයන් සාකච්ඡාවක් පවත්වන ලදී. අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු දෙමළ ජාතික සන්ධානය ඇමැති සජිත් ප්‍රේමදාස සමග ද සාකච්ඡා කරනු ඇත.

(Lanka Leads)