Tuesday, May 07, 2024
Follow Us
ජනාධිපති අපේක්ෂකයා වහාම නම් කරන්න - සජිත්ගෙන් රනිල්ට ලිපියක්

තවදුරටත් ප්‍රමාද නොකර වහාම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නැයි ඉල්ලා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්, එසේ ප්‍රමාද කිරීම රටට හා පක්ෂයට සිදු කරන හානියක් බව ද සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. එසේම එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බව ද ඔහු සඳහන් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන තමා සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත්, පක්ෂයේ බහුතර අනුමැතිය නොමැති නම් තමාට කිසිසේත් ජනාධිපති අපේක්ෂකයා වීමට අවශ්‍ය නොවන බවත් අවධාරණය කරන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන සමාජිකයන්ට එජාප අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.

ඔවුන් ගන්නා ඔ්නෑම තීරණයකට තමා එකඟ වන බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කුමන ගැටලු පැවතියද එජාපය ජයග්‍රහණය කරවීමට තමන් කැපවී කටයුතු කරන බවත්, ඉතා ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් ඊට පෙර ජනාධිපති අපේක්ෂකයා නම්කර සූදානම් වියයුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

(LNW)