Monday, April 29, 2024
Follow Us
අපි කලබල නෑ ඉතා සංයමයෙන් ඉතා වේගයෙන් බලය ගන්න වැඩ කරනවා

ජාතික ජන බලවේගය රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු සැළසුම් සකස් කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. මේ වනවිට ජාතික විධායක සභාව තෝරා පත්කර දිස්ත්‍රික් විධායක සභා ගොඩනැගීම ආරම්භ කර ඇති බවද දිසානායක මහතා සඳහන් කරනවා.

මහනුවර දිස්ත්‍රික් විධායක සභාව ගොඩනැගීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගය සාර්ථකව ඉදිරියට යද්දී බොහෝ දෙනා කලබලයට පත්ව ඇති බවත්, අලුතින් බිහි වූ දේශපාලන විචාරකයන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් පුවත්පත් ලිපි ලියමින් සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. කෙසේ නමුත් ජාතික ජන බලවේගය කිසිසේත්ම කලබන නොවන බවත්, ඉතා සංයමයෙන් සහ ඉතා වේගයෙන් ජනතාව සංවිධානය කරමින් ඉදිරියට ගමන් කරන බවත් ඔහු පවසනවා.

මේ වනවිට ආරම්භ කර ඇති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභා ගොඩනැංවීමෙන් පසුව එම සංවිධාන සැකැස්ම කොට්ඨාස මට්ටම දක්වා ව්‍යාප්ත කරන බවත්, ගමින් ගමට ජනතාවට නායකත්වය ලබාදීමට සූදානම් බවත් පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ ඒ හරහා රටේ බලය අත්පත් කර ගැනීමට සමත් දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කරන බවයි.

(LNW)