Sunday, July 13, 2025
Follow Us
වැඩි පඩි ඉල්ලීම නීතිවිරෝධී යි. මේක පඩි වැඩිකරන වෙලාවක් නෙවෙයි පඩි අඩුකරන වෙලාවක් - එස්.බී.

මේ වනවිට ලෝකයෙහි පවතින්නේ වැටුප් වැඩිකරන අවස්ථාවක් නොව වැටුප් අඩුකරන අවස්ථාවක් බවත් මෙවන් මොහොතක වැඩි වැටුප් ඉල්ලීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

"ලෝක ආර්ථික සංසදය පෙරේදා විශේෂ වාර්තාවක් එළිදක්වලා තියෙනවා. ඔවුන් කියන්නෙ ලෝකයේ උද්ධමනයෙන්, බඩු මිල ඉහළ යෑමෙන් ඉතා දැඩි පීඩනයක් මේ ලෝකේ මිනිසුන්ගෙන් තුනෙන් දෙකකට ඇතිවෙලා තියෙනවා කියලා සහ භාණ්ඩ හිඟයක් ඇතිවීම හරහා මිනිස්සු මුළු ලෝකයේම අය මේ වෙලාවේ පීඩා විඳිනවා කියලා. මහා බ්‍රිත්‍යානයේ වසර 10කට පසු ඇතිවූ භයානකම බඩුමිල ඉහළ යෑම හා උද්ධමන තත්වයක් දැන් ඇතිවෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් දැන් එදාවේල හොයාගෙන කන තත්වයට පත්වෙලා තියෙනවා.

ලෝක බැංකුව කියනවා මේ කඩා වැටීම 1870න් පසුව ලෝකයේ සිදුවෙච්ච මහාම කඩාවැටීම කියලා. ලොව ඉහළින්ම පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන ජේ.පී. මෝගන් ආයතනය කියන්නෙ ඉදිරි වසරේ ලෝකයේ විශාල ආහාර හිඟයක් සහ පාරිභෝගික ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙනවා කියලා.

රජයටත් මම කියන්නෙ දෙන්න එපා මේ වෙලාවෙ සටන් පාඨ, ඉල්ලීම්, පඩි වැඩිවීම්, මේ වගේ දේවල් සඳහා ඉස්සරහට එන්න ඉඩදෙන්න එපා කියන එක තමයි. මොකද ලෝකයේ මේ වෙලාව පඩි වැඩිකරන වෙලාවක් නෙවෙයි, පඩි අඩු කරන වෙලාවක්. ඒ වගේ දේවල් කරන්න එනවා නම් ඒක නීතිවිරෝධී යි. ඒක වහාම පාලනය කරන්න ඕනෙ"

එස්. බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)