Friday, January 02, 2026
Follow Us
චීන පොහොර නැවට සත පහක්වත් ගෙවන්න හොඳ නෑ. මේවා ජනතාවගේ සල්ලි ! - මෛත්‍රී

ප්‍රශ්නගත චීන පොහොර නැවට සත පහක්වත් නොගෙවිය යුතු බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"ඔව් ඉතිං, වෙලා තියෙන දේ නම් කවුරුත් දන්නවානෙ. මම කියන්නෙ චීනයට සත පහක්වත්, රුපියලක්වත් නොගෙවිය යුතුයි කියලා. ඒ මොකද, මේවා මේ රටේ ජනතාවගේ සල්ලි. දැන් මේ රටේ මුදල් හිඟයක් තියෙනවා, ආහාර හිඟයක් තියෙනවා, ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක නිසා චීනයේ පොහොර නැවට සතයක් හරි ගෙවනවා නම් ඒකට අපි විරුද්ධයි.

අනිත් කාරණය තමයි එහෙම නම් මේ පොහොර නැව ගෙනාවෙ කවුද ? මේකට කලින් ගිහිල්ලා මේ පිළිබඳ බැලුවෙ කවුද ? මෙහෙන් කවුරුහරි නියෝජිතයෙක් - මැති ඇමතිවරු හරි, විශේෂඥයින් හරි - චීනයට ගිහින් බලලා තමයි මේක ලංකාවට ගෙන්වන්න තීන්දු කරන්නට ඇත්තෙ. ඒ අය ගැන කිසිම තොරතුරක් නැහැ. ඒක නිසා ඒ අය හොයලා ඒ අයටත් දඬුවම් දෙන්න ඕනෙ.

අනිත් පැත්තෙන් චීනයට සත පහක්වත් නොගෙවිය යුතුයි මේ ජනතාවගේ මුදල්. මේ වෙලාව ඉතාමත්ම අමාරු තත්වයකට රට පත්වෙලා තිබෙන වෙලාවක්. මේ වැරැද්ද කරපු අයගෙන් අය කරගන්න ඕනෙ ඇත්තටම. කවුරුහරි මේ වැරැද්ද කරපු කෙනෙක් ඉන්නවානෙ මේ රටේ ... එතනින් මේක සිද්ධ වෙන්න ඕනෙ. නැත්නම් මේ වගේ සිදුවීම්වල කිසිම නෑනෙ ඉවක් බවක්, අගක් මුලක්"

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා (15) දිනයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)