Friday, January 02, 2026
Follow Us
අර්බුද මැද මැති ඇමතිවරු රට යෑම ගැන අපූරු උත්තරයක්

ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක මැතිඇමතිවරුන් විදෙස් සංචාරවල නිරතවීම අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ විදෙස් සංචාරයක් සදහා සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුට අමෙරිකානු ඩොලර් 250 ක මුදලක් රජයෙන් ගෙවන බවයි.

ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පමණ විදේශ ගතව ඇති බවයි නිල නොවන වාර්තා අනාවරණ කරන්නේ. එලෙස විදෙස් ගතවූ මැති ඇමතිවරුන් අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ද නොමැති දැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.

මේ අතර ඉකුත්දා පැවැත් වූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා ප්‍රකාශ කළේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ විදෙස්ගතව ඇති බවයි.

ඒ අනුව ආණ්ඩු පක්‍ෂයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ නිල සංචාර ලෙස ආණ්ඩුවේ කිසිවෙකුත් විදෙස් ගතවී ඇති බවට තමන් තොරතුරු නොමැති බවයි. ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේද මන්ත්‍රීවරුන් මෙලෙස විදෙස් ගතවී ඇතැයි වාර්තා වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර නෙත් නිවුස් කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ බොහෝ මැති ඇමතිවරුන් සිය ගුවන් ගමන් ටිකට්පත් ලබාගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි ආයතනයකින් බවයි.

රට තුළ ඩොලර් හිඟයක් ඇතැයි දැඩිව ප්‍රකාශ කරන සමයක මෙලෙස මැති ඇමතිවරුන් රටේ ඩොලර් වියදම් කරමින් පෞද්ගලික සංචාරවල නිරතවීම කෙතරම් සදාචාරාත්මක දැයි බොහෝ පාර්ශව නගන ප්‍රශ්නයක්. ගෑස්, පොහොර, එළවළු මිල, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය වැනි විවිධ ගැටළු රැසක් මධ්‍යයේ ජනතාවද අභියෝග රැසකට මුහුණපා ඇති මොහොතක සැබෑ ජනතා නියෝජිතයින් කළයුතු වන්නේ ජනතාව සමග රැදී සිටීම නොවේ දැයි බොහෝ දෙනෙකු නගන තවත් ප්‍රශ්නයක්.

(Neth)