Friday, January 02, 2026
Follow Us
ජනවාරි පළවෙනිදා සිට නිෂ්පාදන ආර්ථිකයේ විශාල වර්ධනයක් සිදුවෙනවා - මහාචාර්ය රංජිත් බණ්ඩාර

2022 ජනවාරි පළමුවෙනිදා සිට මේ රටේ නිෂ්පාදන ආර්ථිකයෙහි විශාල වර්ධනයක් ආරම්භ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

"මේ වෙන්කරන ලද ප්‍රතිපාදන බැලුවාම අපි දැක්කා ගමකට රුපියල් මිලියන 3ක් (ලක්ෂ 30ක්), ඒ වගේම පළාත් පාලන කොට්ඨාසයකට මිලියන 4ක් (ලක්ෂ 40ක්), ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට මිලියන 100ක් (ලක්ෂ 1000ක්), ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ගරු උපසභාපතිවරුන්ට මිලියන 20ක් (ලක්ෂ 200ක්) විදිහට ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඊට අතිරේකව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ - විපක්ෂ සෑම මහජන නියෝජිතයෙකුටම මිලියන 15ක මුදලක් (ලක්ෂ 150ක්) වෙන් කරලා තියෙනවා.

මේ මුදල් භාවිතා කිරීමේදී කිසියම් ආකාරයක තීරණාත්මක නිර්ණායකයක් හඳුන්වලා දුන්නා. ඒ තමයි අවම වශයෙන් මේ වෙන්කරන ලද මුදල් වලින් 40%ක් ජීවනෝපාය සංවර්ධනයටත්, 40%ක් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයටත්, 10%ක් පරිසරය සහ තිරසර සංවර්ධනයටත්, 10%ක් සමාජ සුබසාධන කටයුතු සඳහාත් වැයකරන්න කියලා. ඉතිං එනිසා කාටත් පුළුවන්කමක් නෑ තමන්ට අභිමත ආකාරයට මේ මුදල් වියදම් කරන්න.

ඒ වගේම මේ මුදල් වියදම් කෙරෙන්නෙ කාර්තු ක්‍රමයට. එතකොට පළමු කාර්තුවේ ප්‍රගතිය දිහා බලලා දෙවැනි කාර්තුවේ ප්‍රගතිය දිහා බලලා යනාදී විදියට තමයි මේ මුදල් වෙන් කෙරෙන්නෙ. මෙහි විශාල පසු විපරමක් කෙරෙනවා. ජනවාරි මාසෙ පළමුවෙනිදා ඉඳලා මේ රටේ ග්‍රාම නිලධාරී වසම් 14022ක මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එනිසා අපට බලන්න පුළුවන්කම තියෙනවා විශාල වෙනසක් මේ රටේ නිෂ්පාදන ආර්ථිකය තුළ සිද්ධ වෙනවා ඊළඟ අවුරුද්දේ"

පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)