ප්‍රහාරයට පෙර ඒ ගැන තොරතුරු ලබාදීමට නොහැකි වීම ගැන තමන්ට සමාවන ලෙස එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන් වෙත පැවසූ බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේය.
හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණු කර තිබෙන නඩුව අට වෙනි දිනටත් කැඳ වූ අවස්ථාවේ සාක්ෂි දෙමිනි.
''පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව පෙරවරු 09.30ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතා කරලා අරලිය ගහ මන්දිරයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී මම සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශයට ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක බලධාරීන් රැස්ව සිටියා. මා ඔවුන්ට දැනුම් දුන්නා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සඳහා අග්‍රාමාත්‍යවරයා සියලු දෙනාට අරලියගහ මන්දිරයට එන්න කිව්වා කියල. ඒත් කිසිකෙනෙක් නැගිට්ටේ නැහැ. පසුව මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසුවා. එවිට හේමසිරි ප්‍රනාන්දු මට කිව්වා අගමැතිතුමා කැඳවන කිසිම රැස්වීමකට සහභාගී වෙන්න එපා කියල ජනාධිපති තුමා කියල තියෙනවා කියල. එම ස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනත් හිටියා. මම ඔහුගෙන් ඇහුවා ප්‍රහාරය ගැන තොරතුරු මට කලින් දැනුම් නොදුන්නේ ඇයි කියල. ඒ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන කිව්වා තොරතුරු දෙන්න බැරි වීම ගැන සමාවෙන්න කියල.''
මේ අතර තමන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වුවද තමන් වෙත ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ නොපැවතීම හේතුවෙන් තමන් වෙත ආරක්ෂක තොරතුරු ඉදිරිපත් නොකරන බවත් හිටපු රාජ්‍ය අමාතයවරයා සාක්ෂි දෙමින් කියා සිටියා.
''ජනාධිපතිවරයා විදේශ ගත වූ ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ධූරය පිළිබඳ පත්වීම් ලිපිය මට ලැබුණේ ජනධිපතිවරයා විදේශ ගත වී ආපසු පැමිණි පසුව වන අතර 2018 ඔක්තෝමබර් මස පැවති ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව තමන් සහ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂක මණ්ඩලවලට කැඳවීමක් නොලැබුණු බවද රුවන් විජේවර්ධන මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කරන ලදී.
''බුද්ධි සමාලෝචන රැස්වීමටත් මා කැදෙව්වේ නැහැ. මේ පිළිබඳව මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් විමසා සිටියා. එම අවස්ථාවේදී හේමසිරි ප්‍රනාන්දු මහතා මට කිව්වේ ජනාධිපතිවරයාගේ දැනුම් දීමක් නොමැතිව කැඳවීමට හැකියාවක් නැහැ කියල.'' යනුවෙන් එහිදී විජේවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
(LNW)