රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විකල්පයක් වශයෙන් මේ මොහොතේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
"මම නම් හිතන්නෙ මේ වෙලාවෙ අපි විකල්පයක් විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවල් සියල්ලම යම් විදියකට අපට උදව් නොකරන තත්වයකට දැන් ක්‍රමානුකූලව පත්වෙලායි තිබෙන්නෙ. මං හිතන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා, යම් කොන්දේසි ප්‍රමාණයක් ඔවුන් ඉදිරිපත් කරයි. ඒක නිසා ඒවගේ කාරණා ගණනාවක්ම එයි, මොකද දැන් අපි ගත්තාම විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වගේ ඒවා ගත්තාම ඒවා දැවැන්ත පාඩුවක් ලබනවා. මේ රටේ ජීවිතේට ප්ලේන් එකක ගියෙ නැති මිනිස්සුත් රුපියල් 25,000ක් ගෙවන්න වෙලා තියෙනවා දැන් මේ වෙනකොට. එනිසා මෙය අපි අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. ඉතිං එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කළයුතුයි කියන එකයි මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ"
ප්‍රශ්නය - ඉදිරියේදී රටේ ජනතාවට මුහුණ දෙන්න වෙන ගැටලුකාරී තත්වයන් ගැන ඔබතුමාගේ අවධානය යොමු කළොත් ... ?
"ඉතාම නරක තැනකට අපි තල්ලු වෙලා තියෙන්නෙ. රටේ ජනතාව හැටියට දැඩි ආර්ථික අමාරුකම් වලට අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මෙයින් ගොඩ එන්න සියලුම පක්ෂ එකතුවිය යුතුයි කියලායි මම විශ්වාස කරන්නෙ"
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ මහනුවරදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරු පිරිනැමීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)