Saturday, January 03, 2026
Follow Us
රජයට තොරතුරු ලබාදීමේ වගකීම නාටා ආයතනය පැහැර හැරි බවට චෝදනාවක්

දුම්වැටිවල දිග ප්‍රමාණය මත බදු අයකිරීම සදහා රජයට ගත් තීරණය තුළ මිලි මීටර් 60 ට අඩු දුම්වැටි වල මිළ අඩුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ බදු සංශෝධනයට පෙර රුපියල් 20 ක් වූ එම දුම්වැටි දැන් රුපියල් 10 ක් වී ඇති බවයි.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ මුදල් අමාත්‍යාංශය වැය ශීර්ෂය පිළිබද ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින්.

මෙම අයවැය තුළින් දුම්කොළ සදහා සිදුකළ බදු සංශෝධනය තුළ දුම්වැටි වල මිළ අඩුවීම පමණක් නොව එක් දුම්වැටියක වටිනාකමෙන් රජයට එකතු වන බදු වලට වඩා දුම්වැටි සමාගමට ලැබෙන ලාභය වැඩිවන බව ඔහු සදහන් කළා. මේ වන විට දුම්පානය නිසා ඇතිවන රෝග තත්වයන් මත ලංකාව තුළ දිනකට පුද්ගලයන් 55 ක් මිය යන බව සදහන් කළ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලංකාව තුළ වාර්ෂිකව දුම්වැටි බිලියන 2.3 ක් අළෙවි වන බවයි. එමෙන්ම වසරකට බීඩි මිළියන 3 ක් අළෙවි වන බවද සදහන් කළ බුද්ධික පතිරණ සදහන් කළේ දුම්කොළ සහ මත්පැන් නියාමන අධිකාරිය හෙවත් නාටා ආයතනයේ කාර්යභාර්යය ගැන තමා කණගාටුවට පත්වන බවයි.

දුම්කොළ හා මධ්‍යසාර නියාමන අධිකාරි පණතේ 14 වන වගන්තියේ සදහන් ලෙස ලංකාව තුළ දුම්වැටි භාවිතය හා එහි හානිකර තත්වයන් පිළිබද සමීක්ෂණ සිදුකර දුම්පානය අවම කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ වගකීම එම ආයතනය සතු වුවත් ඔවුන් එම වගකීම පැහැර හරින බව මන්ත්‍රීවරයා චෝදනා කරනවා. 2006 සිට මේ වසර දක්වා නාටා ආයතනය එවැනි වගකීමක් ඉටුනොකළ බව සදහන් කළ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ නාටා ආයතනය සුදු අලියෙකු බවට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

දුම්වැටි වල බදු වැඩි කර මිළ ඉහල නැංවීම තුළ ජනතාව ඉන් ඈත්වන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලද එය සදහන් බවයි. එම නිසා ඒ සදහා දුම්කොළ සහ මත්පැන් පිළිබද සමීක්ෂණ පවත්වා නිවැරදි ප්‍රතිපත්ති තීන්දු ගැනීමට රජයට අවශ්‍ය තොරතුරු ලබාදීමේ වගකීම නාටා ආයතනය විසින් සිදුකළ යුතු බවයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සදහන් කළේ.

(Neth)