Saturday, January 03, 2026
Follow Us
ජනාධිපති තුමා දැන් අධ්‍යාපනය ගැන බලන්නත් හමුදාපතිවරයාව පත් කරන්නද මේ යන්නේ - මුජිබර්

ජනාධිපතිවරයා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලනයත් හමුදාපතිවරයාටම පැවරීමට උත්සාහ කරන ආකාරයක් පෙන්නුම් කෙරෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

"මේ ජනාධිපතිතුමා අතදාපු හැම එකක්ම විනාශ වෙලා තියෙනවා. සෞඛ්‍ය විනාශ වෙලා, කෘෂිකර්මය විනාශ වෙලා. දැන් මේ අපි අහන්නෙ අධ්‍යාපනයත් විනාශ කරන්නද යන්නෙ ජනාධිපතිතුමා ?

දැන් ඒකටත් අතදාලා - නිදහස් අධ්‍යාපනය මේ රටේ දූදරුවන් වෙනුවෙන් තියෙන එක - ඒකටත් දැන් ජනාධිපති කාර්ය සාධක බලකායවල් පත්කරලා, එහෙම නැත්නම් ඒකත් ජනාධිපතිතුමාගේ හිතුමතේට තීන්දු තීරණ අරගෙන, මේ රටේ දැන් ඉතුරු වෙලා තිබෙන නිදහස් අධ්‍යාපනයත් නැති කරන්නද මේ ජනාධිපතිතුමා යන්නෙ කියන එක තමයි අපට ප්‍රශ්නෙ. අපට කොතලාවල විශ්ව විද්‍යාලය තුළ ජනාධිපතිතුමා පවත්වපු ඒ සම්මන්ත්‍රණය තුළ අපට හැඟීයන කාරණාවක් නම් මේ අධ්‍යාපනය ගැන බලන්නත් මේ හමුදාපතිවරයා පත්කරන්න තමයි මේ යන්නේ. දැන් තමුන්නාන්සෙගෙ මේ කාල පරිච්ඡේදය තුළ මේ රටේ ප්‍රධාන අංශ දෙකක් විනාශ මුඛයට තල්ලු කළා. සෞඛ්‍ය සහ කෘෂිකර්මය. අධ්‍යාපනයටත් මේ තත්වය ඇතිකරන්න එපා කියලා අපි ජනාධිපතිතුමාට කියනවා"

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)