Saturday, January 03, 2026
Follow Us
පාර්ලිමේන්තු කලහයන් හොයන්න සියඹලාපිටියගේ සභාපතීත්වයෙන් කමිටුවක්!

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය දිනවල සිදුවූ සිදුවීම් සොයාබලා නැවත එවැනි සිදුවීම් ඇති නොවීමට ගත යුතු නිර්දේශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් කථානායකවරයා විසින් පත්කර තිබේ.

අද (08) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් එය ප්‍රකාශ කළ අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇත.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට චමල් රාජපක්ෂ,බන්දුල ගුණවර්ධන,වාසුදේව නානායක්කාර,සුසිල් ප්‍රේම්ජයන්ත්,ගයන්ත කරුණාතිලක,රවුෆ් හකීම්,අනුර ප්‍රියදර්ශන යාපා,විජිත හේරත්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්. ඒ සුමන්තිරන් යන මැති ඇමතිවරු එහි සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන් තත්ත්ව හේතුවෙන් සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීම පවා වර්ජනය කළ අතර මේ ගැන ඊයේ දින කථානායකවරයා සමඟ ද සාකච්ජාවක් පවත්වා තිබුණි.

එහිදී ඔවුන් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම සිදුවීම් ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙසයි

කෙසේවෙතත අද දින පාර්ලිමේන්තුව අමතමින් කථානායකවරයා අවධාරණය කළේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට තමා බැඳී සිටින හෙයින් සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගෙන ඇති බවයි.

එමෙන්ම මනා සංයමයකින් යුතුව පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ වැඩකටයුතුවල නිරතවීමටත් විශේෂයෙන් කතා කිරීමේ දී ආවේගශීලිව හා පෞද්ගලිකව අපහාස කිරීමෙන් වැළකී සිටිමේ අවශ්‍යතාවයත් කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

(LNW)