සිය මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තු සබා ගර්භයට පැමිණීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විරෝධය දක්වමින් ඉකුත් සෙනසුරාදා එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සබාගර්භයෙන් ඉවත් වුණා. ඒ, මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින්.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්ද අද පෙරවරුවේ පැවැත්වුණා.
සිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නොගියද ජනතාව වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ.
කෙසේවෙතත් මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම පොලිස් ආරක්ෂාව ලබාදිය නොහැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ආරවුල් සදහා තමන්ට මැදිහත් විය නොහැකි බවද කථානායකවරයා මෙහිදී සදහන් කළා.
මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවයක ද නිරත වුණා.
(Neth)