ආණ්ඩුවට සහාය දෙන හවුල්කාර පක්ෂවල නියෝජිතයින්ගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පමණක් රැස්කර පෙරේදා (04) අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවල සහාය තවදුරටත් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
එම රැස්වීමේදී විනාඩි 40ක පමණ දේශනයක් කර ඇති ඒ මහතා ආණ්ඩුවේම සිටින අනෙකුත් පක්ෂවල ඇතැමුන් තමන්ට විවිධාකාර දෝෂාරෝපණ කළත් තමන් පෙරළා එසේ කිරීමට නොයන බවත් සියලු දෙනාම ආණ්ඩුවක් වශයෙන් සමගියෙන් ඉදිරියට යාම අත්‍යාවශ්‍ය බවත් අවධාරණය කර ඇත.
යහපාලන රජය සමයේ පැවරූ නඩු සඳහා තවත් අධිකරණය හමුවේ පෙනී සිටින්නෙකු වශයෙන් උසාවි යන වාරයක් වාරයක් පාසා ඒ අතීත සිදුවීම් සියල්ල තමන්ට සිහිපත් වුවත් තමන් ඒ සියල්ල දේශපාලනික වශයෙන් අමතක කරදමා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.
එසේම සංවර්ධන කටයුතු සිදුකළ පමණින් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බව පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා එසේ වී නම් 2015 ජනාධිපතිවරණයත් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ යුතුව තිබුණු බවත් සිහිපත් කර ඇත.
විශේෂයෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ලැබුණේ ඡන්ද ලක්ෂ 50ක පමණ ප්‍රමාණයක් බව සිහිපත් කර ඇති ඒ මහතා 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 69කුත් 2020 මහමැතිවරණයේදීත් ඊට ආසන්න ගණනකුත් ලබාගැනීමට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග එක්ව තරග කළ නිසා බවත් පෙන්වා දී ඇත. ඒ අනුව ආණ්ඩුවේ සියලුම පක්ෂ සමගියෙන් යුතුව ඉදිරියට යා යුතු යැයි ඒ මහතා සිය මන්ත්‍රී කණ්ඩායමට අවධාරණය කළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
සවස 6.00 ට පමණ ආරම්භ වූ මෙම රැස්වීම මධ්‍යම රාත්‍රිය දක්වාම පැවැත්වී ඇති බවත් වාර්තා විය.
(LNW)