Saturday, January 03, 2026
Follow Us
සජබයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයිද? තීරණය කථානායක සමඟ සාකච්ඡාවකින් පසු

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ කථානායකවරයා සමග අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සමගි ජන බලවේගය පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමක් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට පෙර මෙම සාකච්ඡාවට එක්වන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ සී අලවතුවල කියා සිටියේ.

විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට කථානායකවරයා විසින් සභාවට ප්‍රකාශයක් සිදු කරන තෙක් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී නොවන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉකුත් දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.

කථානායකවරයා මෙම ගැටලුවට විසඳුම් නෙදෙන්නේ නම් මෙම ගැටලුව ජාත්‍යන්තරය වෙත රැගෙන යන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල අවධාරණය කළේ.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුවට නොපැමිණිය ද විවාදයේ කටයුතු අඛණ්ඩව පවත්වන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ.

(Neth)