Saturday, January 03, 2026
Follow Us
ගෑස් පිපිරීමේ ඛේදවාචකය සංවිධානාත්මක සාපරාධී වරදක් - විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

මේ වන විට ගෑස් බෙදාහැරීම නවතා දමන්නට අදාල සමාගම් කටයුතු යොදා ඇති අතර සියල්ල සිදුවන්නේ ගෑස් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊතයිල් මැකැප්ටීන් අඩංගුවේ ගැටලුවක් නිසා බෙදා හැරීම් නවත්වන බව ඒ සමාගම් කීවත් ඇත්ත කතාව වන්නේ ජනතාව ඇන්දවීම බව කී විපක්ෂ නායකවරයා, වෙළෙඳපොළ තුළ 72% ගෑස් අධිකාරියක් හිමිව ඇත්තේ ලිට්‍රෝ ගෑස් සමාගමට බවත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසා කඩිමුඩියේ අර්බුදයට ලක්වූ සමාගම කාන්දුවීම වැළැක්වීමේ පරීක්ෂණය නතරකොට ගෑස් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් සඳහන් කළේය.

මෙයින් රටම බලවත් අනතුරකට පත්වූ බවත් රටපුරා ගෑස් පිපිරීම් වූ බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ මහා අපරාධයට ආණ්ඩුව, විෂය භාර ඇමතිවරුන් මෙන්ම අදාල ගෑස් සමාගම වගකිවයුතු බවද පැවසීය.

මෙය සාපරාධී ක්‍රියාවක් බවත්, සංවිධානාත්මක අපරාධයක් බවත් කී විපක්ෂ නායකවරයා, මේ වැරදිකරුවන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම ආණ්ඩුව පැහැදිලි කළයුතු බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඒ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ''සසුනට අරුණ'' වැඩසටහන යටතේ මීගහජඳුර පුරාණ විහාරස්ථානයේ, රුපියල් ලක්ෂ විසිපහක වියදමින් ඉදිකළ දහම්පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනි.

(LNW)