එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව සමග සන්ධානගත කරවීම සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සහ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් එකපයින් සූදානම්ව සිටියත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ඒ සම්බන්ධයෙන් පසුබාමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එජාප - පොහොට්ටු දීගයේ කතාව අලුත් එකක් නොවේ. එය පසුගිය වසර දෙකක්ම තිස්සේ වරින් වර උඩ එමින් යට යමින් පැවති එකකි. මේ දිනවල එය යළිත් මාධ්‍ය තුළ අවධානයට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් දෙසැම්බර් 03 සිට 05 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවැත්වෙන පස්වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමට නියමිත නිසාය.
එය කෙසේවෙතත් එජාපය ආණ්ඩුවට එක්වීම පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් පසුගිය දෙසතිය තුළම පැවැත්වී තිබුණු අතර වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාරට අවශ්‍ය වී ඇත්තේ පක්ෂය වැලේ වැල් නැතිව සිටිනා තැනින් ගොඩගැනීමටත් වඩා වසර දෙකක කාලයක් හෝ ආණ්ඩුවක් තුළට ගොස් තනතුරු වරදාන වරප්‍රසාද ලබාගැනීමටය. වෙනෙකක් තබා තම පක්ෂය ආණ්ඩුවට එකතුවෙන බව කියමින් මේ වනවිටත් ව්‍යාපාරික ප්‍රජාව සමග ඩීල් දැමීමට එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පටන් ගෙන ඇති බවත් අපට වාර්තා වී ඇත.
ආණ්ඩුව සිටින්නේ තමන් මුහුණ පා සිටින දැවැන්ත මූල්‍ය අර්බුදයට විසඳුමක් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග යහපත් සම්බන්ධතාවක් ඇතිකර ගතයුතු අතිශයින් තීරණාත්මක මොහොතකය. ඔවුන් මුලදීම පී.බී. ජයසුන්දර මහතාව ජනාධිපති ලේකම් තනතුරට පත්කර ගත්තේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන වෙත යහපත් සංඥාවක් පෙන්වීමේ අදහසින් වුවත් පී.බී. තමන්ගේ අසාර්ථකත්වය ගතවූ වසර දෙක තුළ වුවමනාවටත් වඩා ඔප්පු කර පෙන්වූයේය. එවන් තත්වයක් තුළ ආණ්ඩුවට ඇති එකම සහ හොඳම විකල්පය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාව ආණ්ඩුව තුළට ගැනීමය. එසේ කර වික්‍රමසිංහ මහතා හරහා ජාත්‍යන්තර ප්‍රජාව ඇමතීමය. අනෙක් අතට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හරහා ඇමතිකම් වැඩිකර ගැනීමට හැකිවීම වැනි තවත් දේශපාලන වාසි කිහිපයක් ද ආණ්ඩුවට ලැබේ.
මේ සියල්ල අතරේ රනිල් වික්‍රමසිංහ මහතා තවත් සිටින්නේ ආණ්ඩුවට එකතු වීමේ තීරණය ගම්දෝ නොගම්දෝ යන දෙගෙඩියාවෙන් පෙළෙමිනි. ආණ්ඩුවට එකතු වීම යනු තවත් ප්‍රශ්න වැලක මුල බව ඔහු දනී. නමුත් ඔහුටත් මේ සිටිනා ආකාරයෙන්ම සිටිමින් පක්‍ෂය තුළ සිය බලය පවත්වාගෙන යෑමට අපහසු තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. එහෙයින් ඔහුත් "කුමක් හෝ" කළයුතු තැනකට පැමිණ ඇත. ආණ්ඩුවට එකතුවීමට ඔහුගේ පූර්ණ අකමැත්තකුත් නොමැති අතර කැමැත්ත ස්ථාවරත් නොමැත. වික්‍රමසිංහ මහතාට සමීප ආරංචිමාර්ග පැවසුවේ ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ කැමැත්ත අකමැත්ත පවතින්නේ 50 : 50 මට්ටමේත් නොව 35 : 65 වැනි මට්ටමක බවයි.
කෙසේවෙතත් ඉදිරි කෙටි කාලයක් තුළ මේ සියල්ල අවසන් තීරණ වලට එළඹෙනු අතර අප වෙත වාර්තා වන අන්දමට නම් ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයෙහි 2022 වසරේ තුරුම්පුව රනිල් වික්‍රමසිංහ මහතාය.
(LNW)