Saturday, January 03, 2026
Follow Us
අපේ රට දැන් කුණාටුවකට හසු වූ නෞකාවක් වගේ - අනුර දිසානායක

මේ වන විට රට කුණාටුවකට හසු වූ නෞකාවක තත්ත්වයකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

රට මුහුණ දී සිටින අර්බුද හමුවේ ඒවාට විසඳුම් සහ ඒ වෙනුවෙන් වූ ක්‍රියාමර්ග ගැනීම සඳහා නායකයෙක් අවශ්‍ය වුවත් දැන් සිදුව ඇත්තේ රට ඉබාගාතේ යාම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අනතුරුදායක තත්ත්වයෙන් රට ගලවාගැනීම සඳහා වැඩපිළිවෙළක් වත්මන් පාලකයන් විසින් පෙන්වා දී නැති අතර එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඉදිරියේදී ගැඹුරු විපාක ඇති විය හැකි බවටයි ඔහු කියාසිටියේ.

''මේ වන විටත් අපේ රටේ විශාල ඖෂධ හිඟයක් ඇති වී තිබෙනවා. බොහෝ රෝගවලට අවශ්‍ය බෙහෙත්වල හිඟයක් නිර්මාණය වී තිබෙනවා. මෝටර් රථ අමතර කොටස් හිඟවී තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශාල හිඟයක් ඇතිවී තිබෙනවා. බෙහෙත් ගේන්න බැරි නම්, අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කරන්න බැරිනම් ඒ ආණ්ඩුවලින් ජනතාවට ඇති ඵලය කුමක්ද? මේ තත්වය තුළ අර්බුදය විසින් අපට කියාපාන්නේ දීර්ඝ කාලයක් මේ පාලකයන් විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය විසින් අපේ රට ගැඹුරු ආර්ථික අගාධයකට ඇදදමා ඇති බවයි.

මෙම අර්බුදය සම්බන්ධයෙන් ජනතාවට වගකීමක් තිබෙනවා. ඔවුන් පසුගිය කාලය පුරාවටම ආණ්ඩු මාරු කිරීමේදී කල්පනා කළේ ආර්ථිකමය සාධක නෙමෙයි. පසුගිය දශක තුනක කාලය තුළ සලකා බැලුවොත් එම ජාතික මැතිවරණවලදී කරළියට පැමිණියේ ආර්ථික කරුණු නොවෙයි. 2019 මැතිවරණය බැලුවොත් එහි ප්‍රමුඛතාව ලැබුණේ ජාතික ආරක්ෂාවයි. 2015 බැලුවොත් ආර්ථික ප්‍රශ්න වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනාවා. 2010 සැලකුවොත් මැතිවරණයේ තීරණාත්මක සාධකය වුණේ යුද්ධය අවසන් වීමයි. 2005 බැලුවහොත් තීරණාත්මක කරුණ වූයේ යුද්ධයයි. 1999 ජනාධිපතිවරණයේදී තීරණාත්මක වූයේ යුද්ධයයි. 1994 බැලුවොත් ප්‍රතිඵලය තීරණය කළේ ප්‍රජාතන්ත්‍රවාදය විසින්.''

ඒ අනුව 1994 සිට බලන විට ජනතාව ආණ්ඩුවක් ගොඩනැගීමේදී මූලිකව සලකා බලා ඇත්තේ ආර්ථික කරුණු පිළිබඳව නොවන නමුත් ආණ්ඩුවට පැවරෙන මූලික කාර්යභාරය වන්නේ ආර්ථික සමෘද්ධිය බවයි අනුර දිසානායක මහතා කියාසිටියේ.

 


''මේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේ මූලය ඇත්තේ අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති තුළයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන මේ ප්‍රතිපත්ති රට විශාල අගාධයකට හෙළා තිබෙන බැවින් මේ පාලනයත්, මේ ආර්ථික ක්‍රමයත් වෙනස් කිරීම වෙනුවෙන් පෙරට එන ලෙසයි. මීට වඩා සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා ආර්ථික සමෘද්ධිය අත්පත් කර ගැනීම වෙනුවෙන් රටේ ජනතාව ඉදිරියට ආ යුතුයි. මේ මේ පාලකයන් අර්බුදය සමනය කිරීමට සමත් වන අය නොවෙයි. ඔවුන්ට කළ හැක්කේ එය තවත් තීව්‍ර කිරීම පමණයි. එහෙත් මේ අර්බුදයෙන් පීඩාවට පත්වන්නේ ඔවුන් නොවෙයි. ඔවුන්ගේ ඥාතීනුත් නොවෙයි. ඔවුන්ගේ දරුවනුත් නොවෙයි. ඔවුන් වටා සිටින කුප්‍රකට නිලධාරී කණ්ඩායමත් නොවෙයි. අතළොස්සක් වන චෞර ඩීල්කාරයනුත් නොවෙයි. මෙම අර්බුදයෙන් විපතට පත්වී තිබෙන්නේ පොදු ජනතාවයි. රැකියාවක් සොයමින් සිටින තරුණයායි. ගොවිතැනේ යෙදී සිටින ගොවි ජනතාවයි. ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයායි. කුඩා රැකියාවක් කොට මාසයකට සොච්චමක් උපයන ජනතාවයි. මේ අර්බුදයේ ගොදුරු බවට පත්වන්නේ ඔවුනුයි.''

එම නිසා රටේ පුරවැසියන්ට මේ රට ගොඩනැගිය හැකි, විද්‍යාත්මක, නව ආර්ථික උපාය මාර්ගයකට මේ රට පරිවර්තනය කිරීමේ වගකීමක් තිබෙන බවයි හෙතෙම අවධාරණය කළේ.

(LNW)