Sunday, January 04, 2026
Follow Us
ශ්‍රීලනිපය බොරදියේ මාළු බානවා. ඉන්න බැරි නම් ඉවත් වෙන්න - පොහොට්ටුවෙන් සැර ප්‍රතිචාරයක්

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රජය අපහසුතාවට පත්වන ස්ථානවලදී රජය තුළම සිට රජය විවේචනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරන්නේ ඉතාම නිර්ලජ්ජිත ලෙස බොරදියේ මාළු බෑමක් බවත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට එකඟ විය නොහැකි නම් ඔවුන් කළයුතුව ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්වීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

"රජයක් හැටියට අපි කරන දේවල්වල යම්කිසි ප්‍රශ්නකාරී තත්වයන් ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට පොහොර සම්බන්ධ ගැටළුව. අර බොරදියේ මාළු බානවා වගේ දෙයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරමින් යනවා මේ වෙලාවෙ. මේක සාර්ථක වුණා නම් සිරිසේන ජනාධිපතිතුමා තමයි මුලින්ම එළියට බැහැලා කියන්නෙ 'ඕක මුලින්ම පටන් ගත්තෙ මම, මේක සම්පූර්ණ ගෞරවය මට තමයි එන්න ඕනෙ' කියලා. නමුත් මේක වැරදුණාම 'නෑ, මේක සම්පූර්ණ වැරදියි, අපි මේකට නෑ, මේ වැරදි දෙයක්' කියලා මේකට විරුද්ධව කියනවා. මේක සන්ධානගත දේශපාලනය තුළ නොවිය යුතු දෙයක්. යම් පක්ෂයක් හිතනවා නම් ඔවුන්ට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගත වෙන්න බෑ කියලා ඔවුන් කළ යුත්තේ එහෙම නම් එයින් ඉවත් වීම.

අර දෙපැත්තටම නැති නිර්ලජ්ජිත ක්‍රියාවක් හැටියට තමයි අපි මේක දකින්නෙ. මෙතන ඉඳලා, තියෙන වරප්‍රසාද සියල්ල භුක්ති විඳිමින්, සියලු දේවල් ලබාගන්න ගමන්, මේක විවේචනය කරනවා නම් මේ ප්‍රතිපත්ති, මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාවට හිතන්න දෙයක් තියෙනවා මොකක්ද මේ කරන්නෙ කියන එක. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදීපු, අර බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වෙච්ච, ඒ සියලු දෙනා තමයි අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවන්නෙ"

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)