Monday, January 05, 2026
Follow Us
ග්‍රාම නිලධාරින් මුහුණදෙන අනේකවිධ ප්‍රශ්න විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි

දිවයින පුරා සේවයෙහි නියුතු ග්‍රාම නිලධාරීවරුන් සඳහා සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම ඇතුළු ඔවුන් මුහුණ පා සිටින ගැටළු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.

"වර්තමානයේ තරග විභාගයකින් ග්‍රාම නිලධාරිවරයෙකු ලෙස පත්වීම් ලබන්නෙකු සතියේ දින හයක් රාජකාරි සිදුකරන අතර එක් විවේක දිනයක් පමණක් හිමිවෙනවා. දවසේ පැය 24 පුරාම රාජකාරියට බැඳී සිටින, අණපනත් 216කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ජනතාව සමග කටයුතු කරන රජයේ නිලධාරියෙක් ග්‍රාම නිලධාරියා.

එසේම මෑත කාලීනව කොරෝනා වසංගතයේදී මෙන්ම ගංවතුර, නායයෑම් ආදී ස්වභාවික විපත්වලදී දවසේ පැය 24 පුරාම සිය සේවය නොමඳව ලබාදීමට මොවුන් කටයුතු කළා. එවන් සේවාවක් ඉටු කරන මෙම පිරිස සඳහා 1963 වර්ෂයේ සිට මේ දක්වා සේවා ව්‍යවස්ථාවක් සකස් කරදී නැහැ. මේ නිසා මෙම පිරිසට බොහෝ ගැටළු ඇතිවී ඇති බවට දුක්ගැනවිලි ඉදිරිපත් වී තිබෙනවා"

තමන් 2021.03.21 දින ද ග්‍රාම නිලධාරීන් මුහුණ පා සිටින ගැටළු පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එහිදී ඔවුන්ගේ දීමනා, කාර්යාල පරිශ්‍ර ඇතුළු යටිතල පහසුකම් ප්‍රශ්න පිළිබඳව ද අවධානය යොමු කළ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා තවමත් එම ගැටළු විසඳී නොමැති බවත් පෙන්වා දුන්නේය.

(LNW)