Sunday, July 13, 2025
Follow Us
තුනෙන් දෙක ගැන දෙපැත්තෙන් කවුරුවත් කයිවාරු ගහන්න ඕනෙ නෑ, ඒක අයිති ජනතාවට - ගොඩහේවා

ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ යන පාර්ශ්ව දෙකෙන් එකක්වත් වෙන වෙන කයිවාරු ගැසිය යුතු නැති බවත් එම තුනෙන් දෙකේ බලය අයිති ජනතාවට බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

"මං හිතන්නෙ දේශපාලන ඉතිහාසය ගත්තාම සන්ධානය රජයන්වල හැමදාම ඔයවගේ මතගැටුම් තියෙනවා. එහෙම මතගැටුම් තිබුණෙ නැති සන්ධාන රජයක් කියන්න ? ඉතිං මේක අස්වාභාවික තත්වයක් නෙවෙයි. යම් යම් මතගැටුම් තියෙනවා. ඒවා සමහර වෙලාවට එහෙම තියෙන එකත් හොඳයි. අර පොඩ්ඩක් කේන්තිය පිට කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. නමුත් අවසානයේදී අපි සියලු දෙනාම එක ගමනක් යන්නට ඕනෙ.

මොකද අපි ජනතාවට පොරොන්දු දීලා අපි හැමදෙනාම ආවෙ. ඒ පොරොන්දු අපි ඉටු කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම බැඳී සිටිනවා. ඉතින් මං හිතනවා අවසානයේදී මේ සියල්ල සමථයකට පත්වේවි කියලා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ඒ අයට 14 දෙනෙක් ඉන්නවා. එතකොට තුනෙන් දෙක ඒගොල්ලො ගාව තියෙනවා. හැබැයි ඒක කවුරුවත් ඒ පැත්ත වුණත් මේ පැත්ත වුණත් කවුරුවත් කයිවාරු ගහන්න අවශ්‍ය නෑ. මේක ජනතාව දුන්න බලය නේ ? ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම ඡන්දයක් දුන්නෙ නෑනෙ ? දුන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආපු අපේක්ෂකයන්ට. ඒක ඇතුළු වෙන වෙන අය හිටියා. ඒක නිසා මං හිතන්නෙ කොටස් බෙදා වෙන්කර ගන්න එක හරි නෑ කියලා. මේ තුනෙන් දෙක අයිති ජනතාවට, වෙන කාටවත් නෙවෙයි"

නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)