සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදීත් පළාත් සභාවේ මුදලින් වංචනික ලෙස රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා සහ වත්මන් ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඇප මත මුදා හැරීමටත් ඔවුන්ට එරෙහි නඩුව 2022 පෙබරවාරි 07 වනදා සිට විභාගයට ගැනීමටත් කොළඹ මහාධිකරණය පෙරේදා (24) නියෝග කළේය.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
2012 - 2014 සමය තුළ එස්. එම්. රංජිත් මහතා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති අතර ඇයට හිමි ඉන්ධන දීමනාව ඇගේ වැටුපට එක්කර තිබියදී පළමු විත්තිකරු වන එවකට ප්‍රධාන අමාත්‍යවරයාගේ වවුචර් හරහා රු. 2,680,528.00ක සහ රු. 5,379,623.00ක වශයෙන් ඉන්ධන ලබාගැනීම සහ එසේ ඉන්ධන ලබාගැනීම සඳහා පළාත් සභා නිලධාරීන් පොළඹවාලීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
එසේම රජයේ චක්‍රලේඛ අනුව පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන්ට හිමි වාහන දෙකට සහ ආරක්ෂක රථයට අමතරව තවත් වාහන තුනක් තමන්ට මුදාහැරීමට පළාත් සභා නිලධාරීන් පොළඹවාලීම සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම වැඩිදුරටත් විත්තිකරුවන්ට චෝදනා එල්ල කර ඇති අතර නඩුව ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් 12 දෙනෙකු සහ ලේඛන 31ක් ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව ගොනුකර ඇති ආකාරය දෝෂ සහිත සහ නීතිවිරෝධී බවත් ඇතැම් දෝෂ නිවැරදි කිරීමට පවා නොහැකි බරපතළ මට්ටමේ ඒවා බැවින් මෙම චෝදනා පත්‍රය මත නඩුව පවත්වා ගෙන යෑමට නොහැකි බවට මූලික විරෝධතා ගොනුකිරීමට බලාපොරොත්තු වන බවත්ය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුවන් ඇප මත මුදාහැරිය අතර නඩුව පෙබරවාරි 07 වනදාට නැවත කැඳවීමටත් මූලික විරෝධතා ඇත් නම් එදිනට ඉදිරිපත් කිරීමටත් නියෝග කළේය.
(LNW)