Saturday, July 12, 2025
Follow Us
ඩොලර් හොයන්න මුහුද ගොඩකරලා සත්තු වත්තක් හදමු - උද්දිකගෙන් යෝජනාවක්

සාම්ප්‍රදායික ක්‍රම හරහා තවදුරටත් රට දියුණු කළ නොහැකි බවත් ඒ් සඳහා නව සංකල්පවලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. ඇමරිකාව වැනි දියුණු රටවල එවැනි දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති ක්‍රියත්මක වන බවත්, වසර පහෙන් පහට පාලකයා මාරු වන නමුත් ජාතික ප්‍රතිපත්තිය මාරු නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

(25) අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරය දියුණු කර ලොවපුරා සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් තිබෙන බව පෙන්වා දෙන උද්දික ප්‍රේමරත්න මහතා පවසන්නේ ඒ සඳහා නව සංචාරක ආකර්ශනීය ස්ථාන ඇතිකළ යුතු බවයි.

යාපන අර්ධද්වීපයේ පිහිටි දූපතක් තෝරාගෙන එහි පැරඩයිස් අයිලන්ඩ් එකක් නිර්මාණය කළහොත් ලොවපුරා හිතුමතේ සල්ලි විසිකරන ධනවත් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවත් එය දූපතක ස්ථාපිත කරන බැවින් සංස්කෘතික ගැටලු ඇති නොවන බවත් ප්‍රේමරත්න මහතා සඳහන් කරනවා.

සාගරය ගොඩකර වරාය නගරය ඉදිකළ ආකාරයෙන්ම සාගරය ගොඩකර සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ එසේ වුවහොත් එය සාගරයේ ඉදිකරන පළමු සත්වෝද්‍යානය ලෙස වාර්තාගත වන බවයි.

(LNW)