Saturday, July 12, 2025
Follow Us
ක්‍රීඩා තරග නරඹද්දි කොවිඩ් බෝවෙන්නෙ නැද්ද ? - හර්ෂණ ! ක්‍රීඩා තරග වෙනයි උද්ගෝෂණ වෙනයි - නාමල් !

දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් සීමිත ප්‍රමාණයකට අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා. දැඩි කොන්දේසි යටතේ, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගන වෙත පිවිසීමට සෞඛ්‍ය බළධාරීන් අනුමැතිය ලබා දී තිබේ.

විදෙස් ක්‍රීඩකයන් රැසක් සහභාගි වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මස වැනිදා ආරම්භ වේ. තරග පැවැත්වෙන්නේ සූරියවැව මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදීය.

මේ අතර පසුගියදා පැවති මහින්ද රාජපක්ෂ කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, විරෝධතාවලදී කොවිඩ් ව්‍යාප්ත වන බව පවසමින් විරෝධතා මැඩපවත්වන ආණ්ඩුව, ආණ්ඩුවේ නායකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය සහිතව ක්‍රීඩා තරග පවත්වන බවයි. පාපන්දු තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන් දහස් ගණනක් සහභාගි වී සිටි බවත්, විරෝධතාවලදී ව්‍යාප්ත වන කොවිඩ් ක්‍රීඩා තරගවලදී ව්‍යාප්ත නොවන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙස මන්ත්‍රීවරයා ක්‍රීඩා ඇමතිවරයාගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පාපන්දු තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දුන්නේ සෞඛ්‍ය බළධාරීන්ගේ පූර්ණ අනුමැතිය සහිතව බවයි. පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් කොවිඩ් පරීක්ෂණ සිදුකර ක්‍රීඩාංගනය තුළට ඇතුළු කිරීමට කටයුතු කළ බවද නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රීඩා තරග සහ විරෝධතා යනු එකිනෙකට හාත්පසින් වෙනස් සංසිද්ධි දෙකක් බවත්, ක්‍රීඩා තරග සඳහා ප්‍රේක්ෂකයන් සහභාගි කරවා ගැනීමට විරෝධය දක්වන ඕනෑම පුද්ගලයෙකුට සෞඛ්‍ය බළධාරීන්ගෙන් ඒ පිළිබඳව ඉල්ලීම් සිදුකළ හැකි බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

(LNW)