Saturday, July 12, 2025
Follow Us
පුංචි ඡන්දයට මැතිවරණ කොමිසම වැඩ අරඹයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ ව්‍යවස්ථාපිත කටයුතුවල මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී එම කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේදීයි.

පලාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20 වනදායින් අවසන් වීමට නියමිතයි. පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව කිසියම් පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන්වීමට මාස 06 කට පෙර එම ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව පවතිනවා.

කෙසේවෙතත් පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාට අදාළ කිසියම් පළාත් පාලන ආයතනය නිල කාලය කෙටි කිරීමට හෝ දීර්ඝ කිරීමට බලය පවතිනවා. ඒ අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ නොකළහොත් නියමිත පරිදි ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටයි මැතිවරණ කොමිෂන් සභා ඊයේ රැස්වූ අවස්ථාවේදී තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඡන්දය විමසීමේ මූලික කටයුතුවල අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරී හා වාහන සංගණන කටයුතු, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කොට ඒවායේ අඩුපාඩු හඳුනා ගැනීම හා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික්ක වල නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම් දී ඇත්තේ.

(Neth)