සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රටට ලාභයක් සිදුවන බවට රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නට ඇත්තේ අනවබෝධය නිසා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළේ සපුගස්කන්ද වසාදැමීම සම්බන්ධයෙන් විවිධ ඇමතිවරුන් විවිධ ප්‍රකාශ නිකුත් කරන බවයි. තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රටට ලාභයක් අත්වන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව පෙන්වා දුන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයාගෙන් විමසා සිටියේ එසේ ලාභයක් අත්වන්නේ කෙසේද කියාය.
ඊට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කළේ බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීම අලාභ නම් සපුගස්කන්ද සම්පූර්ණයෙන් වසා දමන බවයි.
සපුගස්කන්ද වසාදැමීමේ සැබෑ හේතුව විදේශ විනිමය කළමනාකරණය කිරීම බවත්, අප සතුව තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය භාවිතා කර ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීම මේ මොහොතේ වාසිදායක බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
මේ වනවිට විදුලිය නිපදවීම සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම උපරිමයට පැමිණ තිබෙන බැවින් සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් නිපදවන බවත්, ඒ නිසා විදුලිය නිපදවීම සඳහා දැවිතෙල් අවශ්‍ය නොවන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබෙන බවත් ඇමතිවරයා පවසනවා. මේ වනවිට තෙල් සංස්ථාව සතුව දැවිතෙල් මෙට්‍රික් ටොන් 13,000 ක් තිබෙන අතර විදුලිබල මණ්ඩලය සතුව දැවිතෙල් මෙට්‍රික් ටොන් 79,000 ක් පවතින බවද ඇමතිවරයා සඳහන් කරනවා.
(LNW)