ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලාංකිකයන් සතු වත්කම් වෙනත් රටවලට පැවරීමට කිසිදු අයිතියක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. එසේම ඔහු මුදල් ඇමතිධුරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමටද අයිතික් නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධුරයෙන් සහ මන්ත්‍රීධුරයෙන් නෙරපා හරින්නැයි ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවයි.
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සඳහා අත්සන් කළ ගිවිසුම හේතුවෙන් මෙම නඩුව පවරා ඇති බවද මන්ත්‍රීවරයා පවසනවා.
ඇමරිකානු සමාගම්, ඇමරිකානු පුරවැසියන් බියට පත්කර මහ රෑ මෙම ගිවිසුම අත්සන් කර ඇති බව පෙන්වා දෙන විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි.
වත්මන් ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම් ගැටලු සහගත බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ගෙනයන ක්‍රියාවලියද කිසිසේත්ම නොගැලපෙන්නක් බවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පූර්ණ බලතල හිමිව තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා පවසන්නේ ඉන් පරිබාහිර නීතිඥයන් කණ්ඩායමක් සකස් කරන ලියවිල්ලකට අත එසවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සූදානම් නොමැති බවයි.
එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පානය කරන බව පවසමින් ආණ්ඩුව සිදු කරන්නේ මායාවක් පමණක් බවත්, වත්මන් ආණ්ඩුව යටතේ නව ව්‍යවස්ථාවක් සම්මත වීම කිසිසේත්ම සිදු නොවන්නක් බවත් ඔහු පවසනවා.
(LNW)