එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවත්නා නීති හොඳටම ප්‍රමාණවත් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පොලීසියට, අධිකරණයට, රාජ්‍ය සේවයට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම්, රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටුවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන බවත් ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
කෙසේ නමුත් මෑත කාලය තුළ සිදු වූ සිදුවීම් තුළින් පෙනී යන්නේ බලය ඇති අයට බලය රැක ගැනීම සඳහා එක් නීතියකුත් බලයට නොමැති අයගේ, සාමාන්‍ය ජනතාවගේ බලය තවදුරටත් සිඳලීම සඳහා තවත් නීතියකුත් ක්‍රියාත්මකවෙමින් තිබෙන බව යැයිද හිටපු කතානායකවරයා සඳහන් කරනවා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ජනතාව පොහොර අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැතිකම ඇතුළු තවත් ගැටලු ගණනාවකින් පීඩා විඳිමින් සිටින බවත්, මෙය රජයේ දුර්වල කළමනාකාරීත්වය හේතුවෙන් සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගෙන 20 වැනි සංශෝධනය හරහා විධායකයගේ බලතල ශක්තිමත් කර ගැනීමට පවා කටයුතු කළද වත්මන් පාලනයට ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට අදාල ගැටලු පවා විසඳීමට නොහැකි වී අති බවද කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
පොහොර ප්‍රශ්නය හේතුවෙන් ඉදිරියේදී මහා වියවුලක් ඇතිවීමට නියමිත බවත්, රසායනික පොහොර නොමැතිකම නිසා සහ ඵලදායීතාවය අඩුවීම නිසා අස්වැන්න 40% කින් අඩුවිය හැකි බවට දැනටමත් විද්වතුන් ප්‍රකාශ කර ඇති බවත් ඔහු පවසනවා.
(LNW)