Wednesday, July 09, 2025
Follow Us
පොලිස් සිර මැදිරිය තුළ මියගිය පුද්ගලයා සජබ විරෝධතාවයට සහභාගි වූ අයෙක්, වහාම පරීක්ෂණයක් සිදු කරන්න - හේෂා විතානගේ

ඊයේ රාත්‍රී පනාමුර පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ පුද්ගලයෙකු ගෙන වැළලාගෙන මියගොස් තිබිණි. මේ නිසා ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස නොසන්සුන් වී ඇති අතර ප්‍රදේශයේ මාර්ග වසා දමා පොලීසියට විරෝධය පළකර තිබෙනවා.

ජනතාව පවසන්නේ මෙම මරණයට පොලීසිය වගකිව යුතු බවයි. මතුව ඇති තත්ත්වය මත පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද විවාදයට ලක්විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේ මෙම පුද්ගලයා ඊයේ කොළඹදී පැවති විරෝධතාවය සඳහා සහභාගි වූ පුද්ගලයෙකු බවයි. මෙම මරණය සැක සහිත බවත්, මේ නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ මෙම පුද්ගලයාගේ මරණය සහ විරෝධතාවය අතර කිසිදු සබඳතාවයක් නොමැති බවයි. මෙම පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත්, බිරිඳට සහ දරුවන්ට නිතර පහරදෙන බවට පැමිණිලි ලැබී ඇති බවත් ඇමතිවරයා පවසනවා. ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහුගේ දියණිය සිදුකළ පැමිණිල්ලකට අනුව බව පෙන්වා දෙන සරත් වීරසේකර මහතා පවසන්නේ මෙම මරණය සිදිවි නසා ගැනීමක් බව තහවුරු වී ඇති බවයි.

(LNW)