Wednesday, July 09, 2025
Follow Us
ජනතාවගේ මේසෙට කෑම නොලැබෙන අයවැයක් යැයි රුවන් කියයි

අනතුරු බද්දෙන් පහර ගැහුවේ මධ්‍යම පන්තියට


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය කිසිම හරයක් නැති,අරමුණක් නැති සහනයක් නැති අයවැයක් වන අතර ඒ ගැන කණගාටු වෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසුවා.

විජේවර්ධන මහතා මේ බව සඳහන් කළේ අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මිනිස්සුන්ට කන්න නැති ජීවත් වෙන්න අපහසු තත්ත්වයකට පත්ව තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන අනතුරු බද්දෙන්ද ද පහර වදින්නේ මධ්‍යම පන්තියට බව එජාප නියෝජ්‍ය නායකයා කියා සිටියා.

රාජ්‍ය සේවය දැන් බරක් යැයි පැවසුවද රජයේ සේවයට හැකි තරම් පිරිස් බඳවා ගෙන එය පිරෙව්වේ මේ ආණ්ඩුව බවත් ඔහු පැවසුවා.

යහපාලන කාලයේදී රු.10,000කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකර ඔවුන්ට හිමි එම ගෞරවය ලබා දීමට කටයුතු කළ බවත් රුවන් විජේවර්ධන මහතා කියා සිටියා.

අයවැයෙන් පොඩි පොඩි සහන දුන්නද රටේ ජනතාවගේ මේසයට කෑම ටික නොලැබෙන බවද හෙතෙම ප්‍රකාශ කළා.

යහපාලන කාලයේදී ආර්ථිකය කළමණාකරණය කරගනිමින් මිනිස්සුන්ට කන්න දුන් අතර මුදල් ලැබීමටද සැලස්වූ අතර සහන මිලට බෙහෙත් ද ලබා දීමට කටයුතු කරමින් ජනතාවට සහන දුන් බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් පවතින තත්ත්වය මත ඉදිරි කාලයේදී ජනතාව නිවැරදි තීරණයක් ගනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(Aruna)