Wednesday, July 09, 2025
Follow Us
බැසිල්ගේ ලිත් නඩුව: නීතිපති තව කල් ඉල්ලයි

දිවිනැගුම අරමුදලේ මුදල් වැයකර ලිත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ කිත්සිරි රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික තොටවත්ත මහතා හමුවේ කැඳවා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් තවදුරටත් සාක්ෂි සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි. මේ නිසා නීතිපතිවරයාගේ තීරණය මීලඟ නඩු දිනයේදී දැනුම් දෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා ප්‍රකාශ කළේ සිය තීරණය අද අධිකරණයට දැනුම් දෙන බවයි.

ලබන දෙසැම්බර් මස 01 වැනිදා දක්වා නඩුව කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා, පැමිණිල්ලේ දෙවැනි හා තෙවැනි සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්නැයි නියෝග කළේය.

(LNW)