එක රටක් - එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා පත්කළ සාමාජිකයන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
නීති සම්පාදනය කිරීමේදී ඒ සඳහා සුදුසු පුද්ගලයන් පත්කළ යුතු බවත්, කෙසේ නමුත් එක රටක් - එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ට, විශේෂයෙන් එහි සභාපතිවරයාට නීති සම්පාදනය කිරීම සඳහා තිබෙන සුදුසුකම් මොනවාද, මෙම පුද්ගලයන් තෝරා ගැනීමේදී අනුගමනය කළ නිර්ණායක මොනවාද යන්න අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.
ඒ සඳහා අගමැතිවරයා පිළිතුරු ලබා දුන් නමුත් අනුර දිසානායක මහතා සඳහන් කළේ, මෙම පත් කිරීම් සිදු කිරීමේදී අගමැතිවරයා හෝ දැනුවත්ව නොසිටි බව අගමැතිවරයාගේ පිළිතුරෙන් තහවුරු වූ බවයි.
විශේෂයෙන් කාර්ය සාධක බලකායේ සභාපතිවරයා පත් කිරීමේදී අනුගමනය කළ නිර්ණායක මොනවාදැයි විමසා සිටි අනුර දිසානායක මහතා සඳහන් කළේ විවිධ ජන කොටස් මත පදනම් වූ නීතිවලට එරෙහිව, අනෙකාගේ අයිතිවාසිකම් කප්පාදු කළයුතු බවට විශාල හඬක් නැගූ පුද්ගලයෙකු සියලු දෙනාට පොදු නීතියක් සකස් කිරීමේ ක්‍රියාවලියක ප්‍රධානියා ලෙස පත් කළේ කුමන නිර්ණායක මතද යන්න රටට පැහැදිලි කළයුතු බව පවසනවා.
(LNW)