Wednesday, July 09, 2025
Follow Us
මරණීය දණ්ඩනය නියම වී සිටින පොහොට්ටු මන්ත්‍රී චොකා මල්ලිගේ අභියාචනා විභාගය ඇරඹේ

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් විභාගය ඊයේ (08) අභියාචනාධිකරණය හමුවේ ආරම්භ විය.

ඒ, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල හමුවේය.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් ඊයේ සිය දේශන ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් 25 වනදාට කල්තබන ලදී.

2015 ජනාධිපතිවරණය ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදී එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමක් වෙනුවෙන් සැරසිලි කටයුතු කළ පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2020 ජුලි 31 වනදා ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කෙරිණි.

තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැණි බැවින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා විසින් අභියාචනා ගොනුකර තිබේ.

(LNW)