Tuesday, July 08, 2025
Follow Us
එයාලා කියන විදියට හැසිරෙන්න එයාලා අපේ බාප්පලාද ? - මෛත්‍රීගෙන් පොහොට්ටුවට ප්‍රතිචාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය ආකාරයට හැසිරිය යුතු බව ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. පොහොට්ටුවේ වෙනත් මැති ඇමතිවරුන් ද අවස්ථා ගණනාවකදී මීට සමාන අදහස් ප්‍රකාශ කරනු දැකගත හැකිවිය.

එම ප්‍රකාශ වලට හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) ප්‍රතිචාර දැක්වූයේ මේ ආකාරයෙනි.

"සාමාන්‍යයෙන් අම්මා තාත්තා කියනකොට නම් ඒ විදියට ඉඳලා තියෙනවා, එයාලා අපේ බාප්පලායැ ? තනි ගමන් යන්න ලංකාවේ කාටවත් පවතින දේශපාලන තත්වය තුළ"

එසේම රට තුළ උද්ගතව ඇති පොහොර ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ,

"චීන පොහොර නැව පිළිබඳව ලංකාවේ විද්වතුන් විසින් දරණ මතය පිළිගත යුතුයි රජය. ඒකයි මගේ මතය. ඒක නිසා ඔවුන්ගේ විද්වත් මතය අනුව තමයි රජය කටයුතු කළයුතු වෙන්නෙ.

මම වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් ඔය ගැන කිව්වානෙ. උද්ඝෝෂණ ඇතිවුණේ ආණ්ඩුවෙ අය ජනතාව අතරට නොයෑම නිසා කියලා. ජනතාව අතරට ගිහිල්ලා ජනතාවත් එක්ක ඒ අය ඉන්නවා නම්, උද්ඝෝෂණ කරන අයට බනින්නෙ විවේචන කරන්නෙ බොරු චෝදනා කරන්නෙ නැතුව ඉන්නවා නම් ඔය ඔක්කොම යම්කිසි සාමකාමී තත්වයකට ගන්න පුළුවන්. ඒ නිසා ගොවීන්ද, රාජ්‍ය සේවකයින්ද, වෙනත් අංශද, සෞඛ්‍ය සේවකයින්ද, ඔය විදුලි වරාය අනෙකුත් අංශත් එකතු වෙලා තියෙන්නෙ, ඔය උද්ඝෝෂණ වර්ජන වලදී ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න විසඳාගන්න ඕනෙ ඉතිං. එහෙම නැතුව අවතක්සේරු කරලා, වටිනාකමක් දෙන්නැතුව, කන්දෙන්නැතුව ඉඳපුවාම ප්‍රශ්න උඝ්ර වෙනවා" යනුවෙනි.

(LNW)